කොදෙව් නායකත්ව භූමිකාවන්ගේ වෙනසක්?

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2020

243
Roston Chase elevated to West Indies

නවසීලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ උපනායකත්වයේ වගකීම Roston Chase වෙත පැවරීමට කටයුතු කොට ඇති අතර ප්‍රහාරාත්මක පිතිකරු Nicholas Pooran ද විස්සයි විස්ස සංචිතයේ තම ස්ථානය තහවුරු කරගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව Kieron Pollardගේ නායකත්වය යටතේ තරග වදින කොදෙව් විස්සයි විස්ස කණ්ඩායමේ උපනායක ධුරය හිමි වී ඇත්තේ ද Nicholas Pooran වෙතයි. Jason Holder ටෙස්ට් කණ්ඩායමේ නියමුවා ලෙසින් ඔහුගේ සේවය යලි කණ්ඩායම වෙනුවෙන් ලබා දීමේ අපේක්ෂාවෙන් පසුවන බව ද වාර්තා වේ.

ටෙස්ට් තරග 35ක දී 30.86ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන තිබෙන Roston Chase දඟපන්දු යවන්නෙකු වශයෙන් ද කණ්ඩායමට අත්‍යාවශ්‍ය අවස්ථාවන්හී සිය උපරිමය ලබා දී තිබෙන්නේ තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට සමත් ක්‍රීඩකයෙකු ලෙස තවදුරටත් සනාථ කර පෙන්වමිනි. කොදෙව් තේරීම් කමිටු සභාපති Roger Harper මහතා Chase හට ලබා දුන් නව වගකීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියේ මේ අයුරිනි.

“Chase කියන්නේ කණ්ඩායමේ ඉන්න අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. අවස්ථානුකූලව නිවැරදි තීරණ ගැනීමේ විචක්ෂණ බුද්ධියක් ඔහු සතුව තියෙනවා. ඒ වගේම කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින්ට වුනත් ඔහුගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. Chase ඔහු සතුව තියෙන දැනුම සෙසු ක්‍රීඩකයින් එක්ක බෙදා හදා ගන්න ඉතාමත් කැමැත්තෙන් ඉන්නවා වගේම කණ්ඩායමේ නායකයා Jason Holderට  ක්‍රීඩා පිටියේදීත් ඉන් පිටතදීත් තමන්ගේ උපරිමය සහයෝගය ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා.”  

තවත් ක්‍රිකට් පුවත්:

2016 වසරේ දී තම මංගල ටෙස්ට් තරගය  ක්‍රීඩා කිරීමෙන් අනතුරුව කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමි කරගැනීම වෙනුවෙන් ඉතාමත් කැපවීමෙන් යුතුව කටයුතු කළ බව සඳහන් කර සිටි Chase කොදෙව් කණ්ඩායමේ උපනායකත්වය දැරීමට සුදුස්සෙකු ලෙස තමන් තෝරාගැනීම විශාල ගෞරවයක් බව සඳහන් කර සිටියේය.

“කණ්ඩායමේ නායකයා, සෙසු ක්‍රීඩකයින් වගේම පුහුණුකාරීත්වයත් සමඟ එකට එකතු වෙලා කටයුතු කරන එකේ වැදගත්කම මේ වෙලාවේ දී විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කීර්තියක් අත්පත් කරලා දෙන්න අපි හැමවෙලාවම අධිෂ්ඨාන කරගැනීම වැදගත්. ඉදිරියේ දී නව සැලසුම් කිහිපයක් සකස් කරලා වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් අරමුණු කරගෙන තරග කරන්න අපි බලාපොරොත්තු වෙනවා” තමන්ට හිමි වූ නව භූමිකාව සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි Chase එසේ අදහස් පළකොට සිටියේය.

Chase ඇතුළු කොදෙව් සංචිතයේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මේ මස ආරම්භයේ දී ම නවසීලන්තය බලා පිටත්ව ගිය නමුත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වූ King 11 Punjab කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු Nicholas Pooran ඊයේ (12) දිනයේ දී Auckland ගුවන්තොටුපළ වෙත ළඟා වූ බව ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

තරගාවලිය සඳහා අවශ්‍ය පෙර පුහුණුවීම් කටයුතු ජෛව-ආරක්ෂණ ක්‍රියාවලීන්ට අනුකූලව සිදු කෙරෙමින් පැවතුනත් බදාදා දිනයේ සිට දින 14ක කාලය අවසන් වන තෙක් කොදෙව් ක්‍රීඩකයින් හට යලි පුහුණුවීම්වල නිරත වීමෙන් වැළකී සිටින ලෙස උපදෙස් ලබා දීමට පියවර ගෙන තිබේ. 

හෝටල් සංකීර්ණය තුල දී ක්‍රීඩකයින් ඔවුන්ට සිතූ සේ සංචරණය කරමින් කාලය ගත කිරීමත්, ඔවුන්ගේ ආහාර එකිනෙකා සමඟ බෙදාහදා ගනිමින් ඉතාමත් නොසැලකිලිමත් අයුරින් කටයුතු කිරීමත් මෙවැනි තත්වයක් උදා වීමට හේතුපාදක වී තිබේ.

ක්‍රීඩකයින්ගේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් දියත් කිරීම සඳහා කණ්ඩායම් කළමනාකරු Rawl Lewis මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් මේ වන විට පත් කර ඇති බව වාර්තා වේ. 

නමුත් කොදෙව් සංචිතය නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම තවමත් නවසීලන්තය වෙත පැමිණ නොමැති නිසාවෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළමු පුහුණු තරගයට පෙරාතුව ශක්තිමත් සංචිතයක් නිර්මාණය කරගත හැකි වේ යැයි කණ්ඩායම් කළමනාකාරිත්වය අපේක්ෂාවෙන් පසු වේ.

නවසීලන්තයට එරෙහිව ක්‍රියාත්මක වන T20 තරගාවලිය ආරම්භ වන දින සවස් කාලය වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වූ ක්‍රීඩකයින්ගේ නිරෝධායන කාලසීමාව අවසන් වීමට නියමිතව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<