එංගලන්ත අපරාජිත ගමන නිමා කරන්නට ශ්‍රී ලංකාව සූදානමින්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

802
SLvENG

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති සුපිරි 12 වටයේ තරගයෙන් අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවුනා. එය ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 වටයේ ලබා ගත් දෙවැනි පරාජයයි.

දකුණු අප්‍රිකානු තරගය නිමා වී එක් දිනක විවේකයකින් පසුව, ශ්‍රී ලංකාව නැවතත් අද (1) දී සාජා පිටියට පැමිණෙන්නේ දැනට මේ තරගාවලියේ පළමු කාණ්ඩයේ අපරාජිතව සිටින එංගලන්ත කණ්ඩායම සමඟ තරග වැදීමටයි.

ශ්‍රී ලංකාවට මේ ඉතිරිව තිබෙන තරග දෙකම ජය ගැනීම අනිවාර්ය වන අතර එම තරග දෙකේ ජයග්‍රහණ පමණක්ම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඊට අමතරව අනෙක් තරගවල ප්‍රතිඵල දෙස ද බලා සිටීමට ශ්‍රී ලංකාවට සිදුවනවා.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය T20 ලෝක කුසලාන තරගවල දී සිව්වතාවක් මුණගැසී තිබෙන අතර එහි තරග තුනක් එංගලන්තය ජය ගනිද්දී ශ්‍රී ලංකාව එක් තරගයක් ජයගෙන තිබෙනවා. ඒ 2012 ලෝක කුසලානයේ දීයි.

වැඩි අවධානයට,

ශ්‍රී ලංකා පිතිකරණය දෙස වැඩි අවධානයක් යොමු කර යුතු අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් ඉතාමත් හොඳ ලකුණු ප්‍රමාණයක් වෙත යාම සඳහා අවශ්‍ය මඟ සකස් කිරීම වැදගත් වෙනවා.

එසේම පරාජයට පත්වූ තරග දෙකේ දී ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරණයේ ද යම් කඩා වැටීමක් දැකගන්නට ලැබුණු අතර අවිශ්ක ප්‍රනාන්දු සහ නායක දසුන් ශානක සිය සුපුරුදු රිද්මයට පැමිණීමට තවමත් සමත් වී නැහැ.

එංගලන්තය වැනි ප්‍රබල කණ්ඩායමක් පරාජය කිරීමට නම් පන්දු යැවීම, පන්දුවට පහර දීම සහ පන්දු රැකීම ද ඉහළම මට්ටමක තබා ගැනීම අනිවාර්ය වෙනවා.

කණ්ඩායමේ සංයුතිය,

ශ්‍රී ලංකාව සිය කාණ්ඩයමේ වෙනසක් කිරීමට ඉඩක් තිබේ ද? එය ලොකු ගැටලුවක් බවට පත්ව තිබෙන්නේ, කුසල් පෙරේරා කඩුලු රකින්නෙක් ලෙස සහ පිතිකරණයෙන් යම් අසාර්ථකත්වයක් පෙන්නුම් කරන නිසයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා අතිරේක ක්‍රීඩකයින් අතර තිබෙන සම්පත් සීමිත නිසා එය එතරම් පහසු කටයුත්තක් වන්නේ නැහැ.

එංගලන්තය මේ වන විට අවසන් පූර්ව වටයේ සිය ස්ථානය බොහෝ දුරට වෙන්කරගෙන සිටින නමුත් ඔවුන්ගේ ජයග්‍රාහී රිද්මය තව දුරටත් පවත්වා ගැනීම අනිවාර්ය වන නිසා ඔවුන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කරවූ කණ්ඩායම ම අද මේ තරගයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ද ක්‍රීඩා කරවීමට වැඩි ඉඩක් තිබෙනවා.

අපේක්ෂිත කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – කුසල් පෙරේරා (wk), පැතුම් නිස්සංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, දසුන් ශානක (නායක ), චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර.

එංගලන්තය – Jason Roy, Jos Buttler (wk), Dawid Malan, Jonny Bairstow, Eoin Morgan,Liam Livingstone, Moeen Ali, Chris Woakes, Chris Jordan, Adil Rashid, Tymal Mills

තීරණාත්මක ක්‍රීඩකයින්,

වනිඳු හසරංග දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගනිමින් දස්කම් දැක්වූ අතර ඔහු එංගලන්ත පිතිකරුවන්ට වැඩි අභියෝගයක් එල්ල කිරීමට ඉඩක් තිබෙනවා.

එසේම දුෂ්මන්ත චමීරගේ වේගය සහ ඔහුගේ උස මේ තරගයේ දී එංගලන්ත පිතිකරුවන් පාලනය කිරීම සඳහා හොඳ සාධකයක් කරගැනීමට හැකි නමුත්, නිවැරදි ස්ථානවල පන්දුව පතිත කරමින් නිලකුණු පන්දු ප්‍රමාණය වැඩි කිරීම කළ යුතුම වෙනවා. ඔවුන් දෙදෙනාම නිමා වුන එංගලන්ත තරග සංචාරයේ දී ඉතාමත් හොඳින් දස්කම් අතරට පැමිණියා.

Chris Woakes අවසන් පන්දුවාර තුල ලකුණු කපා හැරීම සඳහා එංගලන්තයට තිබෙන ප්‍රබල අවියක් වෙනවා. එසේම පිතිකරුවන් දෙස අවධානය යොමු කිරීමේ දී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන Buttler සහ Royගේ කඩුලු ඉතාමත් ඉක්මනින් දවා ගැනීම ශ්‍රී ලංකාවට වැදගත් වෙනවා.

තණතීරුව සහ එහි ස්වභාවය,

සාජා තණතීරුවේ පන්දු පතිත වූ පසුව එතරම් හොඳ ඉපිලීමක් බලා ගැනීමට හැකි වන්නේ නැහැ. එය අපිට පසුගිය දා පැවැත්වුණු දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා තරගයේ දී ද දැක බලාගැනීමට හැකි වුනා.

මෙය රාත්‍රී තරගයක් වන නිසා පින්න යම් සාධකයක් වීමට වැඩි ඉඩක් තිබෙනවා. කෙසේ නමුත් කාසියේ වාසිය දිනා ගන්නා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරනු නිසැකයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<