ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන බලාපොරොත්තු අවසන් ද?

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

127

දකුණු අප්‍රිකාවට එරෙහිව කඩුලු හතරක තියුණු පරාජයකට මුහුණ දුන්නත් ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන බලාපොරොත්තු තවමත් අවසන්ව නැහැ.

ඔවුන්ට තවමත් අවසන් පූර්ව වටය කරා යෑමට ඉඩකඩ තිබෙන නමුත් එසේ වීම සඳහා 1 කාණ්ඩයේ ඉතිරි තරග 6යේ ප්‍රතිඵල සෘජුවම බලපානවා.

ශ්‍රී ලංකාවේ තරග දෙස බැලූ විට ඔවුන්ට එංගලන්තයට එරෙහිව නොවැම්බර් 1 වැනිදා පැවැත්වෙන තරගය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ නොවැම්බර් 4 වැනිදා පැවැත්වෙන තරග ජය ගැනීම අනිවාර්ය වෙනවා. එවිට ශ්‍රී ලංකා කණ්ඩායමට තරග පහක දී ප්‍රසාද ලකුණු 6ක් ලබා ගැනීමේ අවස්ථාව පවතිනවා.

කෙසේ වෙතත් 1 කාණ්ඩයේ අනෙක් තරගවල ප්‍රතිඵල මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම රඳා පවතිනවා. බංග්ලාදේශය ඉතිරි තරග දෙක ජයග්‍රහණය කිරීම ලංකාවට ඉතා වැදගත් වෙනවා. ඔවුන් මීළඟට දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව හා තරග වැදීමට නියමිතයි.

  • නොවැම්බර් 2 – බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව පරාජය කළ යුතුයි.
  • නොවැම්බර් 4 – බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව පරාජය කළ යුතුයි.
  • නොවැම්බර් 6 – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕස්ට්‍රේලියාව පරාජය කළ යුතුයි.
  • නොවැම්බර් 6 – එංගලන්තය දකුණු අප්‍රිකාව පරාජය කළ යුතුයි.

එම තරග සියල්ලේම ප්‍රතිඵල ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ පරිදි සිදු වේ නම් දල ලකුණු වේගයේ (NRR) බාධාවකින් තොරව අවසන් පූර්ව වටයට යෑමට ශ්‍රී ලංකාවට අවස්ථාව පවතිනවා.

අනෙක් කණ්ඩායම් ක්‍රීඩා කරන තරගවල ප්‍රතිඵල අපේක්ෂා කරන පරිදි නොලැබුණත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිරි තරග දෙකම ජය ගතහොත් දල ලකුණු වේගය මත අවසන් කණ්ඩායම් දෙක තීරණය වීමේ අවකාශය පවතිනවා. දල ලකුණු වේගයෙන් ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවට මදක් පසුපසින් සිටින අතර ඕස්ට්‍රේලියාවට ඉදිරියෙන් සිටිනවා.

ශ්‍රී ලංකාව එංගලන්තය හමුවේ පරාජය වුනහොත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අතහැර ගන්නට සිදු වෙනවා. එමෙන්ම ඕස්ට්‍රේලියාව හෝ දකුණු අප්‍රිකාව සිය ඉතිරි තරග දෙකම ජයගතහොත් එම අවස්ථාවේ දී ද ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත් වෙන්න සිදු වෙනවා.

ශ්‍රී ලංකාව හෙට (01) එංගලන්තය සමඟින් තරග වැදීමට නියමිතයි. ලෝක කුසලානයේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<