රබාඩාට ආබාධයක්

248
AFP

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. ඔහුගේ පිට කොන්දෙහි හටගත් ආබාධයක් නිසා මෙලෙස තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව නිල ජර්සියේ ප්‍රබල වෙනස්කමක්

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුළ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින විට අඳිනු ලබන නිල ක්‍රීඩා ඇඳුම සහ පුහුණුවීම් සඳහා අඳිනු….

2019 ලෝක කුසලාන තරගාවලියටද තවත් ඉතිරිව ඇත්තේ සති 3 ක පමණ කාලයකි. එම නිසා තම ආබාධ සුව කරගැනීමේ අරමුණින් රබාඩා මෙලෙස කණ්ඩායමෙන් ඉවත්වූ බව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පවසා ඇත. 2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් දකුණු අප්‍රිකාව සත්කාරක එංගලන්තය සමඟින් පළමු තරගයට මුහුණදීමට නියමිතය.

රබාඩා මේ වනවිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වී ඇත්තේ තරග 12 කදී කඩුලු 25 ක් දවා ගනිමිනි. රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් අනතුරුව රබාඩා තමන්ගේ පිට කොන්දෙහි ඇතිවූ වේදනාවන් පිළිබඳව පවසා ඇත. ඒ පසුගිය අප්‍රේල් 28 වනදාය. රබාඩා තරගාවලියෙන් ඉවත්වීමත් සමඟම ඔහුට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමඟින් පැවති තරගය මඟහැරෙනු ඇත. ඔහුගේ ආබාධ ඇති වූවාට පසුදින ඔහු ඒ පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ වලට සහභාගී වූ අතර ඔහුගේ පරීක්ෂණ වල වාර්තා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායකයන්ට දන්වා ඇත. ඒ අනුව කගීසෝ රබාඩා සිකුරාදා දින නැවතත් දකුණු අප්‍රිකාව බලා යාමට නියමිතය.

ඒ අනුව රබාඩාට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ තරගය මඟහැරෙන අතර අවසන් පූර්ව වටයේ තරගද මඟහැරෙනු ඇත.

“මේක ගොඩක් අමාරු තීරණයක්. මොකද දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මේ වගේ අවස්ථාවක ඉන්න කොට මට ඉවත් වෙන්න ඕනෙ නෑ” යයි රබාඩා පැවසූ බව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නිවේදනය කළේය.

“ලෝක කුසලානයට තව මාසයක් වගේ තියෙන්නේ. ඒ හින්දා තමයි මෙම තීරණය ගත්තේ. මේක අමතක නොවන තරගාවලියක්. තරගාවලියේදී වගේම තරගාවලියෙන් පිටතදීත් මට ගොඩක් වටිනා තරගාවලියක් වුණා. මම විශ්වාස කරනවා මගේ කණ්ඩායමට තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා” යයි රබාඩා තවදුරටත් පවසා ඇත.

​ශ්‍රී ලංකාව ලෝක විස්සයි විස්ස ශූරයන් අභිබවා ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (3) නිකුත් කරන ලද නවතම විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයට අනුව ශ්‍රී ලංකා…

රබාඩාගෙ මෙම ආබාධය, දකුණු අප්‍රිකාවට නම් හිසරදයක් වනු ඇත. ඒ දකුණු අප්‍රිකාවේ ක්‍රීඩකයන් රැසක් ආබාධයට ලක්වී තිබීම සහ ලෝක කුසලානය පෙනෙන මානයේදී වීමයි. ඔවුන්ගේ ප්‍රබලතම තුරුම්පුව වන ඩේල් ස්ටෙයින් උරහිසෙහි ආබාධයක් නිසා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වූ අතර මාංශපේෂි ඇදීමක් නිසා ලුංගි නිග්ඩි ද ආබාධයකට ලක්වී ඇත. උරහිසේ ආබාධයක් නිසා අන්‍රිච් නොර්ට්ජෙ ද ක්‍රීඩා කිරීමට සුදුසු තත්වයක නොමැත. නමුත් පසුගියදා නම් කරන ලද 15 දෙනෙකුගෙන් යුත් දකුණු අප්‍රිකානු සංචිතය සඳහා ඩේල් ස්ටෙයින්, ලුංගි නිග්ඩි සහ අන්‍රිච් නොර්ට්ජෙ නම් කර තිබිණි. දකුණු අප්‍රිකාව, මෙවර තරගාවලියේ බලාපොරොත්තු තබාගත හැකි කණ්ඩායමක් ලෙස බොහෝදෙනා මත පළකර ඇත.

2019 ලෝක කුසලානය සඳහා නම් කරන ලද දකුණු අප්‍රිකානු සංචිතය 

ෆෆ් ඩු ප්ලේසි (නායක), එයිඩන් මාක්‍රම්, ක්වින්ටන් ඩි කොක් (කඩුලු රකින ක්‍රීඩක), හෂිම් අම්ලා, රසී වැන් ඩ ඩසන්, ඩේවිඩ් මිලර්, අන්ඩයිල් ෆෙලුක්වායෝ, ජේ. පී. ඩුමිනි, ඩ්වයින් ප්‍රෙටෝරියස්, ඩේල් ස්ටෙයින්, කගීසෝ රබාඩා, ලුංගි නිග්ඩි, අන්‍රිච් නොර්ට්ජ, ඉම්රාන් ටාහිර්, තබ්‍රයිස් ශම්සි

2019 ලෝක ක්‍රිකට් වසන්තය මැයි මස 30 වනදා ආරම්භ වීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<