Moors SC සහ SSC වසර 19කට පසුව නැවතත් අවසන් මහා තරගයකට

Major Club 50 Over Tournament 2026

1

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (11) කොළඹ, ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගය සඳහා අවසන් පූර්ව තරගවල දී Colts CC කණ්ඩායම පරාජය කළ Moors SC කණ්ඩායම ද සහ CCC කණ්ඩායම පරාජය කළ SSC කණ්ඩායම ද එක් වෙනවා. මීට පෙර මෙම කණ්ඩායම් ද්විත්වය 2007 වසරේ දී ද එකිනෙකා හමුව ඇති අතර එම තරගයේ ජයග්‍රහණය ලබා ගන්නේ SSC කණ්ඩායමයි.  

මෙම කණ්ඩායම් ද්විත්වය අතුරින් SSC කණ්ඩායම මෙම තරගය හා එක් වෙන්නේ පසුගිය වසරේ Tier B තරගාවලියේ ශූරයන් ලෙසින් ලත් උසස් වීමත් සමඟින් මෙවර Major Club තරගාවලියට එක් වෙමින් වීම විශේෂත්වයක්. ඔවුන් 2007, 2012/13, 2013, 2014, 2018, 2019 සහ 2023/24 යන තරගාවලියන්වල දී අවසන් මහා තරග සඳහා එක් ව ඇති අතර ඉන් 2013/14, 2017/18, 2018/19 සහ 2023/24 තරගාවලි 4 ජයග්‍රහණය කිරීමට ද සමත් වෙනවා.  

Moors SC කණ්ඩායම මෙම තරගමාලාවේ අවසන් මහා තරගයක් සඳහා එක් වෙන 3 වැනි අවස්ථාව මෙයයි. ඔවුන් මීට පෙර 2006/07 සහ 2007 යන තරගාවලියන්වල දී අවසන් මහා තරගය සඳහා එක් වූව ද මෙතෙක් ඔවුන්ට මෙම කුසලානයේ පහස ලබා ගැනීමට හැකි වී නැහැ.  

මෙම තරගයේ දී SSC කණ්ඩායම අවිශ්ක ප්‍රනාන්දු විසින් ද සහ Moors SC කණ්ඩායම පසිඳූ සූරියබණ්ඩාර විසින් ද මෙහෙයවීමට නියමිතයි.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය හෙට සිට…

SSC කණ්ඩායම මෙම තරගය හා එක්වෙන්නේ විශේෂඥ පිතිකරුවන් සිව් දෙනෙක් හා කැටුවයි. ඒ අතුරින් පෙරමුණේ ම පසුවෙන්නේ නායක අවිශ්ක ප්‍රනාන්දු. ඔහු මෙවර තරගාවලියේ මේ දක්වා තරග 6කට ක්‍රීඩා කරමින් ශතක ද්විත්වයක් සහ අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 441ක් ලබා තිබෙනවා. ඔහු මෙවර තරගාවලියේ මේ දක්වා වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු, වැඩිම ශතක ලබා ගත් පිතිකරු මෙන් ම වැඩිම හතරේ පහර ලබා ගත් පිතිකරු ද වෙනවා.

ඊට අමතර ව නුවනිඳු ප්‍රනාන්දු තරග 7ක දී ශතකයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 294ක් ලබා ගනිමින් ද, නිපුන් ධනංජය තරග 7ක දී ශතකයක් හා අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 266ක් සහ රොන් චන්ද්‍රගුප්ත තරග 7ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 167ක් ද ලබා ගනිමිනුයි මෙම තරගය හා එක් වෙන්නේ.

පන්දු යැවීමේ දී කණඩායමේ සිටින වැඩිම කඩුලුලාභියා වෙන්නේ නිපුන් ධනංජය. ඔහු මේ දක්වා කඩුලු 12ක් දවා ගනිමින් කණ්ඩායමේ විශ්වාසය දිනා තිබෙනවා. එමෙන් ම කඩුලු 11ක් ලබා සිටින කසුන් රාජිත, කඩුලු 10ක් ලබා සිටින ප්‍රමෝද් මදුශාන්, කඩුලු 7ක් ලබා සිටින දිනුර කළුපහන සහ කඩුලු 6ක් දවාගෙන සිටින කවිඳු නදීශාන් ද මෙම අවසන් මහා තරගයේ දී පන්දු යවන්නන් ලෙසින් කණඩායම හා එක් විය හැකියි.

SSC කණ්ඩායම 

අවිශ්ක ප්‍රනාන්දු (නායක), රොන් චන්ද්‍රගුප්ත, නුවනිඳු ප්‍රනාන්දු, නිපුන් ධනංජය, විශාද් රන්දික (කඩුලු රකින්නා), රනුද සෝමරත්න, දිනුර කළුපහන, ප්‍රභාත් ජයසූරිය, ප්‍රමෝද් මදුශාන්, මිහිරංග සිල්වා, කවිඳු නදීශාන්, ශෙවොන් ඩැනියෙල්, රිවිත් ජයසූරිය, මල්ශ ප්‍රනාන්දු, කසුන් රාජිත. 

Moors SC කණ්ඩායම මෙම තරගය හා එක් වෙන්නේ, විශ්වසනීය ඉදිරි පෙළක් සමඟිනුයි. ඒ අතර මේ වෙද්දී කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වී සිටින්නේ කඩුලු රැකීමේ අත් ආවරණ ද හිමි සොහාන් ද ලිවේරා. ඔහු මෙවර තරගාවලියේ තරග 7ක ඉනිම් 6ක දී ශතයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 293ක් ලබා සිටිනවා.  

ඊට අමතර සදීර සමරවික්‍රම තරග 6ක ඉනිම් 5ක දී ශතයක් සහ අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 281ක් ලබා ගනිමින් ද, සිතාර ගිම්හාන් තරග 7ක ඉනිම් 6ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලකුණු 263ක් ලබා ගනිමින් ද සහ ජනිශ්ක පෙරේරා අර්ධ ශතක ත්‍රිත්වයක් සමඟින් ලකුණු 231ක් ලබා ගනිමින් ද Moors SC කණ්ඩායම වෙත දක්ෂතා දක්වා තිබෙනවා.  

ඔවුන්ට අමතර ව රමේෂ් මෙන්ඩිස් තරග 5ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 190ක් සහ කඩුලු 5ක් දවා ගනිමින් කණ්ඩායමේ ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් කටයුතු කරනවා.   

ඊට අමතර ව මිලාන් රත්නායක, ශිරාන් ප්‍රනාන්දු, සංතුශ් ගුණතිලක සහ මල්ෂ තරුපති ද දක්ෂතා දැක් වූ Moors SC තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන සාමාජිකයන් ලෙස කණ්ඩායම හා එක් ව සිටිනවා.  

මේ අතුරින් ශිරාන් ප්‍රනාන්දු මේ වන විට කඩුලු 18ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙසින් එම ලැයිස්තුවේ පළමු අසුන වෙන්කර ගෙන තිබෙනවා. ඊට අමතර සංතුශ් ගුණතිලක ද කඩුලු 13ක් දවා ගෙන දක්ෂතා දක්වා තිබෙනවා.  

Moors SC කණ්ඩායම 

පසිඳු සූරියබණ්ඩාර (නායක), සිතාර ගිම්හාන්, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), සදීර සමරවික්‍රම, ජනිශ්ක පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, මල්ෂ තරුපති, මිලාන් රත්නායක, ශිරාන් ප්‍රනාන්දු, සන්තුශ් ගුණතිලක, ඉඳුවර උදේන, ගරුක සංකේත්, ශෙහාන් ප්‍රනාන්දු, රවිශාන් ද සිල්වා, හිවින් කෙනුල, තරුෂ නවෝද්‍ය, ඔමේෂ් මෙන්ඩිස්, විශාර ප්‍රනාන්දු, දුවිඳු තිලකරත්න සහ තීක්ෂණ වික්‍රමසිංහ.   

මෙම තරගයේ පන්දුවෙන් පන්දුව සජීවී දසුන් ThePapare.com, Dialog TV චැනල් 62 ඔස්සේ ThePapare 1 සහ Dialog Play app මඟින් ඔබට නැරඹීමට හැකියි.  

Major Club එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<