එංගලන්ත සංචාරය ගැන ආතර්ගෙන් ලොකු බලාපොරොත්තුවක්

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2020/21

623

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු ද වන මිකී ආතර් මහතා එළඹෙන වසර ආරම්භයේ දී පැවැත්වීමට නියමිත එංගලන්ත සංචාරය ගැන ඉතාමත් ධනාත්මක ‍මානසිකත්වයකින් පසුවෙයි.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් ලෙස පසුගිය මාර්තු 19 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ටෙස්ට් තරග දෙකකින් සමන්විත එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වූයේ කොරෝනා වයිරසයේ බලපෑම ශ්‍රී ලංකාව තුලත් ව්‍යාප්තව ගිය නිසාවෙනි. ඒ වන විටත් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි සිටි අතර ඔවුන් ක්‍රීඩා කරමින් සිටි  පුහුණු තරගයක් අතර මඟ දමා නැවතත් සිය මව් රට බලා එංගලන්තය පිටත්ව ගියේය.

තවත් ක්‍රිකට් පුවත්

“අපි ශ්‍රී ලංකාවට ආයිත් ක්‍රිකට් අරගෙන එන්න ඕනේ. අපිට මේ අවුරුද්දේ තියන්න තිබ්බ ගොඩක් තරගාවලි කල් දාන්න වුනා වගේම සමහර තරගාවලි අත ඇරලා දාන්න වුනා. ඒ කොහොම වුනත් මේ අවුරුද්දේ අවසානයේ දී දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරගාවලිය පවත්වන්න පුළුවන් වෙයි කියලා මම ලොකු විශ්වාසයකින් සිටිනවා. ඊට පස්සේ තියෙන එංගලන්ත සංචාරයත් එහෙමයි. ඒ වගේම 2021 වසර ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ගොඩක් කාර්යබහුල වසරක් වේවි” යැයි මිකී ආතර් මහතා ESPN Cricinfo වෙත පවසන ලදි.

“ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ඉතාමත් හොඳින් ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කරගත්තා. අපිට ගෙවල්වලින් පොඩ්ඩක් එළියට බැහැලා එන්න අවස්ථාවක් ලැබුණා. හැබැයි ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක්  තමයි බැරි වුනේ අපිට” ආතර් වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් එංගලන්තය සහ ශ්‍රී ලංකාව තිබෙන ඉදිරි දල තරග කාලසටහන් සලකා බැලූ විට නැවතත් එම තරගාවලිය පැවැත්වීම සඳහා ඉඩක් ලැබී තිබෙන්නේ ලබන වසරේ ආරම්භයේ දී වන නමුත් එංගලන්ත බලධාරීන් ශ්‍රී ලංකාවේ තිබෙන දැඩි  අනිවාර්ය නිරෝධායන රෙගුලාසිවලට යටත්ව ශ්‍රී ලංකාවට පැමිණීමට අකමැති බව එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ඉහල පෙළේ නිලධාරියෙක් මීට දින කිහිපයකට පෙර පවසන ලදි.

එසේම මේ මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකින් සමන්විත බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ද අහිමිව ගිය නිසාවෙන් ශ්‍රී ලංකාවට මේ වසර අවසානය තෙක් කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් නොමැත.

2020 වසරේ පෙබරවාරි මාසයේ දී පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට පසුව එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය සමඟ ශ්‍රී  ලංකාව තරග කිරීම සඳහා සූදානමින් සිටි නමුත් කොරෝනා වයිරස තත්වය නිසා ඒ සියල්ලම වෙනස් වී ගියේය.

“අපි දන්නවා ලෝකේ ඕනෑම ක්‍රිකට් ආයතනයක් රඳා පවතින්නේ ඒ ඒ තරගාවලි මත, මොකද වෙළඳ ආයතන ගොඩක් අවධානයෙන් ඉන්නේ තරගාවලි නැවතත් ආරම්භ වෙනකන්. නිරෝධායන කාලය තුල තිබෙන දැඩි බව නිසාවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයත් අවලංගු වුනා. ඒ කොහොම වුනත් මම හිතන්නේ නැහැ සති දෙකක් කාලයක් නිරෝධායනය වෙන්න පුළුවන් කියලා. එහෙම වෙන්න පුළුවන් ඒත් පුහුණුවීම් හරි කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එහෙම නැත්නම් ඒ ක්‍රීඩකයින්ගේ මානසික තත්වය ගොඩක් පහතට වැටෙනවා” යැයි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ටොම් හැරිසන් මහතා The Guardian පුවත් පත සමඟ පවසා සිටියා.

බංග්ලාදේශ තරග සංචාරය සඳහා යම් ලිහිල් භාවයක් හෝ පෙන්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හෝ ශ්‍රී ලංකා රජයට නොහැකි වූයේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට ආසන්නව සිටිය දී පවා ඔවුන්ගේ කණ්ඩායම  තුල සිටින ක්‍රීඩකයින්ගේ PCR වාර්තා ධනාත්මක වීම නිසාවෙනි. කෙසේ නමුත් බංග්ලාදේශ තරග සංචාරයට වඩා එංගලන්ත තරග සංචාරය ශ්‍රී ලංකාවට බෙහෙවින් වැදගත් වේ.

ESPN Cricinfo ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<