ගේල්ගේ IPL ඉරණම ගැන පුහුණුකරුගෙන් අනාවැකියක්

244
Chris Gayle

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ ප්‍රබලතම හා ප්‍රවේගකාරීම පිතිකරුවා ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු ක්‍රිස් ගේල් හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග තුල ඔහුගේ යෝධ හයේ පහරවල් ප්‍රේක්ෂකාගාරය ඉක්මවා ගියේ පන්දු රකින්නන් නරඹන්නන් බවට පත් කරමිනි. විස්සයි විස්ස තරග රටාව තමන්ටම ආවේණික තරග රටාවක් බවට පත්කරගත් ගේල් තරග දිනවන්නෙකු ලෙස සිය වගකීම අකුරටම ඉටු කළේය. 

එහෙත් පසුගිය වසර 3ක පමණ කාලය තුල ගේල් සිය දක්ෂතා පෙන්වීමට සමත්වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ඔහු කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙකු බවට පත්වීමයි.

මේ වන විට 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම තරග 5 කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 4ක් පරාජය වී ඇත. මේ වන විට එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස මයාන්ක් අග්‍රවාල් හා කේ. එල්. රාහුල් කටයුතු කරන අතර ඔවුන් දෙදෙනා එම තරග සියල්ලේ දී ම කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දීමට සමත් විය.

අග්‍රවාල් හා රාහුල්ගේ සාර්ථකත්වය නිසා ගේල්ට එම කණ්ඩායමේ ස්ථානයක් මෙතෙක් ලැබී නැත. Universe Boss යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ගේල් මෙවර තරගාවලිය තුල ක්‍රීඩා කරන ආකාරය දැක ගැනීමට ප්‍රේක්ෂකයන් නොඉවසිල්ලෙන් බලා සිටින බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබුණි. 

ගේල්ගේ ස්ථානය පිළිබඳව කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමේ පිතිකරන පුහුණුකරු වසීම් ජෆර්ගෙන් පසුගිය දා මාධ්‍ය විමසා තිබුණි. එහි දී ඔහු පවසා සිටියේ ක්‍රිස් ගේල් හා දඟපන්දු යවන ක්‍රීඩක මුජීබ් සද්‍රාන් ඉදිරි තරගවල දී කණ්ඩායමට ඇතුළත් වනු ඇති බවයි.

“ඔවුන් ඉක්මනින්ම කණ්ඩායමට ඒවි. ඇත්තෙන්ම ඒක ඉක්මනින් වෙන්න ඕනෙ දෙයක්. හැම තරගයක්ම දිනන්න ඕනෙ තත්ත්වයට ආවට පස්සේ ඔවුන් කණ්ඩායමට එකතු කරලා වැඩක් නැහැ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් දෙදෙනා ඉදිරි තරගවලට එක් කරගන්න” ජෆර් PTI වෙත ඩුබායි සිට අදහස් දක්වමින් පවසා සිටියේය.

මේ වන විට කණ්ඩායම තුල පවතින තත්ත්වය සමඟින් ගේල්ගේ යොදාගැනීම පිළිබඳව ද ජෆර් අදහස් දක්වා තිබුණි.

“ගේල් සූදානමින් ඉන්නේ ක්‍රීඩා කරන්න. ඒ වගේම ඔහු නොඉවසිල්ලෙන් ඉන්නේ. ඔහු මේ කාලය තුල හොඳින් පුහුණුවීම් කළා. අපි දැක්කා ඔහු පුහුණුවීම්වල දී හොඳ දක්ෂතාවයක් පෙන්වනවා.” 

“ඇත්තෙන්ම ඔහු තරගවලට ලොකු බලපෑමක් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. අපි දන්නවා ඔහුට තරගයක් තුල කරන්න පුළුවන් දේවල්. මම හිතනවා ඔහු ඔහුගේ රිද්මයට ඒවි කියලා. කණ්ඩායමක් විට විදිහට අපිට ඕනේ ඒ දේ. ඔහු ලකුණු පිපාසයකින් ඉන්නේ. ඒක කණ්ඩායමට හොඳ දෙයක්.” 

“මම හිතනවා ඔහු ඉක්මනින්ම කණ්ඩායමට ඇතුළත් වේවි. අපිට අවශ්‍ය වෙන්නේ තරග දිනවන ක්‍රීඩකයන්. ඊළඟ තරගය විතරක් දිනන කෙනෙක් නෙමෙයි. තමන්ගේ වගකීම ඉටු කරලා තරග 4-5ක් දිනවන්න පුළුවන් කෙනෙක්.” 

තවත් ක්‍රිකට් පුවත්: 

මෙහි දී මාධ්‍යවේදීන් ගේල්ගේ ඇතුළත් වීමත් සමඟින් කණ්ඩායමේ සංයුතිය කෙසේ වෙනස් වේවි දැයි විමසා සිටියේය. 

“අපි දැක්කා කේ. එල්. වගේම මයාන්ක් මේ තරගවල දී අපේ පිතිකරණයේ වැඩි වගකීමක් ඉටු කළා. ඒ වගේම පූරාන් හොඳින් ක්‍රීඩා කළා. කරුන් නයීර්ට අපි අවස්ථාවන් දීලා බැලුවා. ඔහු එතරම් සාර්ථක වුනේ නැහැ. ඒ නිසා මන්දීප් සිං යොදාගත්තා. අපිට අවශ්‍ය වෙන්නේ මැක්ස්වෙල් රිද්මයට ගන්න. ඒක ටිකක් අමාරු දෙයක්. විශේෂයෙන් විදෙස් ක්‍රීඩකයන් හතර දෙනෙක් තෝරාගන්න එක ගොඩක් අමාරුයි. අපි ටිකක් කල්පනා කරන්න්‍ ඕනේ ගේල් වගේම මුජීබ් කණ්ඩායමට එකතු කරන්නේ කොහොමද කියලා.”

“පූරාන් අපේ කඩුලු රකින්නා විදිහට කටයුතු කරනවා. ඒ නිසා ඔහුව අයින් කරන්න බැහැ. අනෙක් ක්‍රීඩකයන් අතරින් කෙනෙක් එළියෙන් තියලා ගේල් යොදාගන්න වෙනවා. අපි කේ. එල්. රාහුල්ට වගේම අනිල් භායිට ඒ තීරණය ගන්න ඉඩ දීලා තියෙන්නේ. ඔවුන් තීරණය කරාවි කාවද ඉවත් කරන්නේ කියලා. මට විශ්වාසයි ඔවුන් හරි තීරණයක් ගනීවි කියලා” ජෆර් තවදුරටත් පවසා සිටියේය.

කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම එළඹෙන බ්‍රහස්පතින්දා (08) සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිතය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<