තව පොඩ්ඩෙන් කෝලි නීති කඩයි

326

දැඩි සෞඛ්‍යාරක්ෂිත නීති රීතිවලට යටත්ව මේ වන විට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් නීති කඩවීමේ ආසන්න අවස්ථාවක් පසුගිය දා වාර්තා විය. 

ඒ ඊයේ (05) පැවති රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගයේ දී ය.

මෙම තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නායක විරාත් කෝලි ඛේටය භාවිතා කරමින් පන්දුව ඔපදැමීමට යොමුවන ආකාරය බොහෝ මාධ්‍යවල අවධානයට ලක්ව තිබූ අතර කෙසේ වෙතත් ඔහු පසුව එය වළක්වා ගන්නට සමත්ව තිබුණි.

දිල්ලි කැපිටල්ස් ඉනිමේ නව්දීප් සයිනි යැවූ තුන්වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේ දී දිල්ලි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ප්‍රිත්වි ශාව් දක්ෂ cover drive පහරක් එල්ල කළේය. ඒ වන විට short cover හි පන්දු රකිමින් සිටි විරාත් කෝලි එය සාර්ථකව රැකගැනීමට සමත් විය. ඔහු පන්දුව රැකගැනීමෙන් පසුව ඛේටය යොදාගෙන පන්දුව ඔපදැමීමට උත්සාහ කළ නමුත් එය වළක්වා ගැනීමට ඔහු සමත් විය.

විරාත් කෝලි එසේ කළා නම්, එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පනවා ඇති COVID–19 සෞඛ්‍යාරක්ෂිත නීතිවලට අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇත. කෙසේ වෙතත් තමන් අතින් සිදුවීමට ගිය අත්වැරැද්ද ඉක්මනින් හඳුනා ගත් කෝලි එය වළක්වා ගැනීමට සමත් විය.

ඉන් පසුව තමන් ඒ පිළිබඳව කනගාටු වන බව හැඟවීමට ද ඔහු ක්‍රියා කළේය.

තවත් ක්‍රිකට් පුවත්: 

මේ අතර ඉන්දීය හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් Twitter පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රිත්වි ශාව්ගේ පහර පිළිබඳව සහ කෝලිගේ පන්දු රැකීම පිළිබඳව අදහස් දක්වා තිබුණි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පසුගිය සතියේ  පැවති කොල්කටා නයිට් රයිඩර්ස් හා රාජස්ථාන් රෝයල්ස් අතර තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් නියෝජනය කරන Robin Uthappa පන්දුව ඔපදැමීම සඳහා ඛේටය භාවිතා කරන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

“සෞඛ්‍ය නීතිවලට අනුව පන්දුව ඔපදැමීම සඳහා ඛේටය භාවිතා කිරීමට කිසිදු ක්‍රීඩකයෙකුට අවසර ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් යම් ක්‍රීඩකයෙකු පන්දුවට ඛේටය යොදමින් ඔපදැමීම සිදු කළහොත් විනිසුරුවන් විසින් යම්කිසි ලිහිල් අවවාද කිරීමක් සිදු කරමින් තත්ත්වය පාලනය කරනු ඇත. නමුත් එලෙස කීපවතාවක් සිදුවුවහොත් කණ්ඩායමට අනතුරු ඇඟවීමක් ලැබෙනු ඇත” ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වීමට පෙර නිකුත් කළ නිවේදනයක දැක්විය.

මෙවන් සිදුවීමක දී කණ්ඩායමකට එක් ඉනිමක දී අනතුරු ඇඟවීම් දෙකක් දක්වා නිකුත් කළ හැකි අතර නැවත නැවත පන්දුව මත ඛේටය භාවිතා කළහොත් පන්දුවට පහර දෙන කණ්ඩායම සඳහා ලකුණු 5ක දඬුවම් ලකුණු ප්‍රමාණයක් ලැබෙනු ඇත. 

යම් ක්‍රීඩකයෙකු විසින් පන්දුවට ඛේටය යොදමින් ඔප දැමීමක් කරන සෑම අවස්ථාවක දී ම නැවත තරගය ආරම්භ කිරීමට පෙර පන්දුව පිරිසිදු කරන ලෙස විනිසුරුවන්ට උපදෙස් ලබා දී තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (05) පැවති තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය. ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 59කින් පරාජය කරමිනි. එම ජයග්‍රහණයත් සමඟින් දිල්ලි කැපිටල්ස් ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<