එංගලන්තයත් ශ්‍රී ලංකාවට එන්න අදිමදි කරයි

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020/21

267

කොරෝනා වයිරසය නිසාවෙන් දින නියමයක් නොමැතිව කල් දැමුණු එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිතව ඇත. කෙසේ නමුත් ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි දැනට පවතින දින 14ක අනිවාර්ය නිරෝධායන රෙගුලාසි යටතේ ශ්‍රී ලංකාවට පැමිණීම සිදු කළ නොහැකි බව එංගලන්තය පවසා සිටියි.

එහි දී දින 14ක නිරෝධායනය ගැටලුවක් නොමැති නමුත් එම දින 14ක අනිවාර්ය නිරෝධායන කාලය තුල කණ්ඩායමේ ක්‍රීඩකයින් හට සිය පුහුණු කටයුතු හෝ සිදු කිරීමට අවස්ථාවක් නොලැබීම ඔවුන්ට ඇති ගැටලුවකි.

තවත් ක්‍රිකට් පුවත්:

“අපි දන්නවා ලෝකේ ඕනෑම ක්‍රිකට් ආයතනයක් රඳා පවතින්නේ ඒ ඒ තරගාවලි මත, මොකද වෙළඳ ආයතන ගොඩක් අවධානයෙන් ඉන්නේ තරගාවලි නැවතත් ආරම්භ වෙනකන්. නිරෝධායන කාලය තුල තිබෙන දැඩි බව නිසාවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයත් අවලංගු වුනා. ඒ කොහොම වුනත් මම හිතන්නේ නැහැ සති දෙකක් කාලයක් නිරෝධායනය වෙන්න පුළුවන් කියලා. එහෙම වෙන්න පුළුවන් ඒත් පුහුණුවීම් හරි කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. එහෙම නැත්නම් ඒ ක්‍රීඩකයින්ගේ මානසික තත්වය ගොඩක් පහතට වැටෙනවා” යැයි එංගලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ටොම් හැරිසන් මහතා The Guardian පුවත් පත සමඟ පවසා සිටියා.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් ලෙස පසුගිය මාර්තු 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකින් සමන්විත වූ එම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වූයේ කොරෝනා වයිරසයේ බලපෑම ශ්‍රී ලංකාව තුලත් ව්‍යාප්තව ගිය නිසාවෙනි. ඒ වන විටත් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි සිටි අතර ඔවුන් ක්‍රීඩා කරමින් සිටි  පුහුණු තරගයක් අතර මඟ දමා නැවතත් සිය මව් රට බලා එංගලන්තය පිටත්ව ගියේය.

කෙසේ නමුත් එංගලන්තය සහ ශ්‍රී ලංකාව තිබෙන ඉදිරි දල තරග කාලසටහන් සලකා බැලූ විට නැවතත් එම තරගාවලිය පැවැත්වීම සඳහා ඉඩක් ලැබී තිබෙන්නේ ලබන වසරේ මුලදී වන නමුත් දැන් දැන් එම බලාපොරොත්තුව ද සුන්ව යන ආකාරයක් පෙනෙන්නට තිබේ.

තවද මේ මස 23 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකින් සමන්විත බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ද අහිමිව ගිය නිසාවෙන් ශ්‍රී ලංකාවට මේ වසර අවසානය තෙක් කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් නොමැත.

The Guardian ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<