විශේන් තුන් ඉරියව් දස්කම් දක්වද්දී උවිඳුගෙන් ශතකයක්

19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

262

2022/23 වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4ක් ඉකුත් දා (23) ක්‍රියාත්මක වුනා. එහි දී සාන්ත පීතර, රාජකීය, මාරිස් ස්ටෙල්ලා සහ සහිරා විද්‍යාල කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත්තා.

ආනන්ද විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අතර පැවති තරගයේ දී අපරාජිතව සිටින සාන්ත පීතර විද්‍යාලයේ විශේන් හැළඹගේ 4 පහර 15ක් සහ 6 පහර 7ක් සමඟ පන්දු 97ක දී වේගවත්ව ලකුණු 141ක් ලබාගෙන දැක්වූ දස්කම් නිසාවෙන් සාන්ත පීතර විද්‍යාලයට සිය නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 336ක් ලබා ගැනීමට හැකි වුනා.

ඊට අමතරව සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ඔවින් සල්ගාදු, නායක නිමුතු ගුණවර්ධන සහ සන්ශේ ගුණතිලක යන ක්‍රීඩකයින් අර්ධ ශතක ලබා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ ආනන්ද ඉනිම ලකුණු 146කට සීමා කිරීමේ දී ද හැළඹගේ දැක්වූ දස්කම් කැපී පෙනුණු අතර එහි දී ඔහු ලකුණු 52කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

එසේම Tier A කොටසේ තරගයක් ලෙස ක්‍රියාත්මක වුනු රාජකීය – මහානාම තරගයේ දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු අංජල බණ්ඩාර අර්ධ ශතකයක් (ලකුණු 67) ලබාගෙන දස්කම් දැක්වූවා.

එම ඉනිම ද සවියක් කරගෙන මහානාම විද්‍යාලය ලකුණු 227ක් ලබා ගත් නමුත්, අංක 4 පිතිකරු උවිඳු වීරසේකර පන්දු 122ක් තුල 4 පහර 7ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් නොදැවී ලබා ගත් ලකුණු 108* ශතක ඉනිම නිසාවෙන් රාජකීය විද්‍යාලයට කඩුලු 7ක දැවැන්ත ජයක් ලබා ගැනීමට අවස්ථාව උදා වුනා.

ඊට අමතරව දිනයේ ක්‍රියාත්මක වුනු අනෙක් Tier B තරග දෙකේ දී මීගමුව මාරිස් ස්ටෙල්ලා සහ කොළඹ සහිරා විද්‍යාලය හමුවේ පිළිවෙළින් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජයට පත් වුනා.

එය සහිරා විද්‍යාල කණ්ඩායම මෙවර එක්දින තරගාවලිය තුල ලබා ගත් පළමු තරග ජයග්‍රහණයයි. එසේම මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම ලබා ගත් මේ ජයග්‍රහණයත් සමඟම Tier B කොටසේ Y කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගන්නට ඔවුන්ට හැකි වුනා.

සාන්ත පීතර විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය (Tier B – X කාණ්ඩය)

  • සාන්ත පීතර විද්‍යාලය – 336/3 (50): විශේන් හැලඹගේ 141, ඔවින් සල්ගාදු 80, සන්ශේ ගුණතිලක 52*, නිමුතු ගුණවර්ධන 51*.
  • ආනන්ද විද්‍යාලය – 146 (36.5): සචින් ජයසිංහ 40, පුලිඳු කිරිඇල්ල 32*, දිනද අතලගේ 30, විශේන් හැලඹගේ 3/52, ශෙනොන් රොද්‍රිගෝ 2/15, ෂෝන් රොබර්ට් 2/29

සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 190ක ජයක්

මහානාම විද්‍යාලය සහ රාජකීය විද්‍යාලය (Tier A – X කාණ්ඩය)

  • මහානාම විද්‍යාලය – 227/7 (50): අංජල බණ්ඩාර 67, ඉනුක කරන්නාගොඩ 47*, විරංග යෙශාන් 45, කූජන පෙරේරා 22, ගීශාන් පෙරේරා 2/32, රනුක මලවිආරච්චි 2/49
  • රාජකීය විද්‍යාලය – 231/3 (48.2): උවිඳු වීරසේකර 108, දසිස් මංචනායක 40*, ගීශාන් පෙරේරා 38, රෙහාන් පීරිස් 34

රාජකීය විද්‍යාලයට කඩුලු 7ක ජයක්

සහිරා විද්‍යාලය සහ වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය (Tier B – Y කාණ්ඩය)

  • සහිරා විද්‍යාලය – 262/9 (50): වෙන්කෙට් රාජේන්ද්‍රන් 58, ලක්ෂාන් ද සිල්වා 47, මොහොමඩ් යාසීර් 40, ඉස්මත් සයාන් 27, රායිඩ් කරීම් 25, ශාන් අනිකෙත් 4/52, කවිඳු සේනාධි 2/34, පැතුම් විහඟ 2/51.
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – 259/8 (50): තෙරික ආකාශ් 36, අමිත සංදීප 32, විහඟ රශ්මිත 31, හර්ෂ වීරසූරිය 30, කවිඳු සේනාධි 25*, පැතුම් විහඟ 24*, මික්ඩාඩ් අක්‍රම් 4/37, රායිඩ් රිස්වාන් 2/42.

සහිරා විද්‍යාලයට ලකුණු 3ක තියුණු ජයක්

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (Tier B – Y කාණ්ඩය)

  • සාන්ත ඇලෝසියස් විද්‍යාලය – 141 (36.4): දිනෙත් නිම්සර 34*, නවිඳු රශ්මික 4/38, ශේන් ආධිත්‍ය 3/24, රමිත් බණ්ඩාර 2/24
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 143/5 (26.5): කවීන් ප්‍රනාන්දු 52, සදෙව් රත්නායක 23, ෂේන් ආධිත්‍ය 23, කවිඳු අමරසිංහ 3/27

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට කඩුලු 5ක ජයක්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<