බංග්ලාදේශ ක්‍රිකට් සභාපතිගෙන් විශේෂ නිවේදනයක්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

595

මෙම වසර අවසානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ ‘බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය’ නොපවත්වන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති Nazmul Hasan මහතා පවසා සිටියි. එයට හේතුව බවට පත්ව ඇත්තේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය බංග්ලාදේශය තුළ තවමත් පාලනය වී නොතිබීමයි. 

කොරෝනා මැඩලීම සඳහා නිපදවා තිබෙන එන්නත පැමිණිය ද දෙසැම්බර් – ජනවාරි කාල රාමුව තුළ ‘බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය’ පැවැත්වීමට නොහැකි වනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

“අපිට මේ පාර බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පවත්වන්න වෙන්නේ නැහැ කියලා අපිට කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා. මොකද අපේ රටේ මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය තවමත් පාලනය වෙලා නැහැ. බලමු, දැන් මේ පාර තරගාවලියට සැලසුම් කරලා වැඩක් නැහැ. අපි දැන් ලබන වසරේ දී බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය පවත්වන ආකාරය ගැන සලකලා බලන්න ඕනේ. ඒ වෙනකොට තිබෙන තත්වය කොහොම වෙයිද කියලා අපි කාටවත්ම කියන්න බැහැ.” යැයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති Nazmul Hasan මහතා බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (11) දින පැවති මාධ්‍ය හමුවේ දී පවසා සිටියේය. 

“බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අපේ රට ඇතුළේ තියන්න බැරි නම් IPL එක වගේ වෙනත් රටකට අරන් ගිහින් තියන්න කියලත් සමහර අය කියනවා. හැබැයි කියනවා වගේ නෙමෙයි, ඒක ගොඩක් මුදල් වියදම් වෙන වැඩක්. අපි අපේ ආදායමට හරි යන විදිහට තමයි වියදම් සැලසුම් කරන්න ඕනේ. එහෙම නැතිව මේ තරගාවලිය කරන එක මූල්‍යමය අතින් ගොඩක් පාඩුයි. විශේෂයෙන් විදෙස් රටවල ක්‍රීඩකයින් ඒ රටට ගෙන්වා ගැනීම සහ නිරෝධායනය, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, ක්‍රීඩාංගණ වෙන්කිරීම වගේ දේවල් බැලුවම ලොකු වියදම් ප්‍රමාණයක් තියෙනවා වෙනත් රටක තියෙනකොට.” යැයි ඔහු වැඩිදුරටත් පවසන ලදි. 

‘බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය’ (BPL) 2011 වසරේ දී ආරම්භ වූ අතර Dhaka Platoon කණ්ඩායම එහි වැඩිම ශූරතාවයන් ගණනක් ජයග්‍රහණය කළ කණ්ඩායම වේ. පසුගිය වසරේ පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත්තේ Rajshahi Royals කණ්ඩායම විසිනි. 

cricbuzz ඇසුරෙනි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<