කොදෙව්වන්ට සුපිරි ක්‍රීඩකයෙක් අහිමි වෙයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

296

ආබාධයකට ලක්වීම නිසාවෙන් 2021 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා නම් කළ සංචිතයෙන් ඉවත් වීමට බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක Fabian Allenට සිදු වුනා.

වළලුකර අසල සිදු වූ ආබාධයක් නිසාවෙන් ඔහුට මෙලෙස ලෝක කුසලානයෙන් ඉවත් වීමට සිදුව ඇති අතර ඔහුගේ ස්ථානය සඳහා Akeal Hosein ආදේශ කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත.

ඒ අනුව ඔවුන් අතිරේක ක්‍රීඩක සංචිතයේ Akeal Hosein, Fabian Allenගේ ස්ථානයට ආදේශ කර අතිරේක ක්‍රීඩක ලැයිස්තුව සඳහා Gudakesh Motie කැඳවීමට කටයුතු කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ සිටි දක්ෂ ක්‍රීඩකයෙකු වූ Fabian Allen විස්සයි විස්ස පන්දු යවන්නන් වර්ගීකරණයේ 16 වැනි ස්ථානයේ සහ තුන් ඉරියව් ක්‍රීඩක වර්ගීකරණයේ 17 වැනි තැන පසුවුනා.

එම තරග ආකෘතියේ පන්දු යැවීමෙන් 27.05ක සාමාන්‍යයක් රඳවා ගත් ඔහු පිතිකරණයෙන් 17.85ක සාමාන්‍යයක් සහ 138.88ක ඉහළ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගැනීමට සමත්ව තිබෙනවා.

ලෝක ක්‍රිකට් පිටියේ අතිදක්ෂ පන්දු රකින්නෙක් ලෙස ද නම් දරා තිබූ ඔහුගේ අහිමි වීම ලෝක කුසලානය සඳහා සූදානම් වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ට තරමක පාඩුවක්.

ඔහුගේ ස්ථානය සඳහා ආදේශ කළ Akeal Hosein බටහිර ඉන්දීය කොදෙව් දේශය වෙනුවෙන් විස්සයි විස්ස තරග හයකට සහ එක්දින තරග නවයකට ක්‍රීඩා කර ඇත. ඔහුට බොහෝ විට අද (10) ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වෙන පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට වැඩි ඉඩක් සහිත රටක් ලෙස විචාරකයින් හඳුන්වන වත්මන් ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් 23 වැනිදා එංගලන්තය සමඟ තරග වැදීමට නියමිතයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

ICC වෙබ් අඩවිය ඇසුරිනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<