ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක්

2858

“Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ” ලෝක මට්ටමේ අවසන් තරගාවලිය අද (10) ආරම්භ වූ අතර, එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් බංග්ලාදේශය පරාජය කරමින් ලකුණු 47ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

නවසීලන්ත කණ්ඩායම ඉදිරියට, ඕස්ට්‍රේලියාව පසු බසී

පසුගිය දා ටෙස්ට් ක්‍රිකට් පිටියේ සිදු වූ සිදුවීම් හමුවේ ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි වෙනස්කම් කිහිපයක් සිදුව ඇත.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සහභාගි වන අතර, ඒ ඒ රටවල් තුල පැවැත්වූ Red Bull විශ්ව විද්‍යාලය තරගාවලි තුල ජයග්‍රහණය කරන ලද කණ්ඩායම් පමණක් මෙම තරගාවලිය සඳහා සිය රට නියෝජනය කරමින් සහභාගි වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට (BMS) අමතරව ඉන්දියාව, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ, ඕස්ට්‍රේලියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, පාකිස්තානය යන රටවල් මෙවර තරගාවලිය සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන කණ්ඩායම් එක් කාණ්ඩයකින් තරග වදිනු ලැබේ. එහි පළමු ස්ථානයන් දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙක හා අනෙක් කාණ්ඩයේ පළමු ස්ථානයන් දෙක හිමි කර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත. ගියවර පැවැත්වූ  තරගාවලියේ අවසන් ශූරතාවය ජයග්‍රහණය කළේ ද, ශ්‍රී ලංකා කණ්ඩායමයි (BMS).

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ගේශාන් විමලධර්ම හා හශාන් දුමිඳු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමුව පිටියට පිවිසි අතර, ඔවුන්ට පළමු කඩුල්ල සඳහා ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 8ක සබඳතාවයක් පමණි. ලකුණු 25කට කඩුලු 2ක් දැවී තිබූ අවස්ථාවේ දී පිටියට අවතීර්ණ වූ මනෝජ් සරත්චන්ද්‍ර සමඟින් එක්වූ දුමිඳු, ලකුණු 25ක සබඳතාවයක් ගොඩනංවන ලදි.

පන්දු 9ක දී ලකුණු 15ක් ලබාගෙන සිටි මනෝජ්ගේ දැවී යාමට පසුව ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ කතානායකයා බඳු වූ ජනිත ලියනගේ ගේ ඉනිම බංග්ලාදේශ පන්දු යවන්නන් ඉදිරියේ දිග හැරෙන්නට විය. එහි දී වේගවත් හා දක්ෂ පිතිකරණයක නිරත වූ ජනිත පන්දු 33ක් පමණක් වැය කරමින් 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 40ක් රැස්කර ගන්නා ලදි. ඔහුට සහය වුන දුමිඳු එක් 6 පහරක් හා එක් 4 පහරක් සමඟින් ලකුණු 17ක් ලබාගෙන සිටිය දී නහිදුල් ඉස්ලාම්ගේ පන්දුවකට දැවී යන ලදි.

Photos : Sri Lanka Vs. Bangladesh – Red Bull Campus Cricket

ඔවුන් දෙදෙනාගේ ද දැවී යාම්වලට පසුව එක් මොහොතක දී ශ්‍රී ලංකා ඉනිම ඉතාමත් අසීරු මට්ටමක පැවතියේ, ලකුණු 124කට කඩුලු 7ක් ලෙස ලකුණු පුවරුව දිස්වෙමිනි. පසුව 8 වැනි කඩුල්ල සඳහා ජවසම්පන්න සබඳතාවයක් ගොඩනැංවීමට කටයුතු කළ චාමික කරුණාරත්න හා කේ. ජයවික්‍රම, ශ්‍රී ලංකා ඉනිම ලකුණු 188ක් දක්වා ඔසවා තැබුවේ ලකුණු 64ක සාර්ථක හා නොබිදුනු සබඳතාවයක් ද ගොඩනංවමිනි.

පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් අරිෆුර් රහමාන් ලකුණු 18ක් තුල කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

ලකුණු 189ක ඉලක්කයක් හඹා යාමේ බලාපොරොත්තු සහිතව පිටියට පැමිණි බංග්ලාදේශ මුල්පෙළ පිතිකරුවන් එම ඉලක්කය සාර්ථකව හඹා යාමට අවශ්‍ය මූලික අඩිතාලම නිවැරදිව සකස් කළේය.

එහි දී පන්දු 21ක් තුල ලකුණු 32ක් ලබාගත් ජාසිම් උඩ්ඩින් සිය පෞද්ගලික ලකුණු ගිණුමට 4 පහර 4ක් හා එක් 6 පහරක් අන්තර්ගත කරන ලදි.

ඔහුට අනගි සහයක් දුන් නහිදුල් ඉස්ලාම් ලකුණු 24ක් ලබා ගත්තේ, එක් 4 පහරක් හා එක් 6 පහරක් සීමාවෙන් එපිටට යවමිනි. ඔවුන් දෙදෙනාම දැවී ගිය පසුව පිටියට පැමිණි බංග්ලාදේශ මැදපෙළ පිතිකරුවන්ව හොඳින් පාලනය කිරීමට අමිල අපෝන්සු හා චාමික කරුණාරත්න සමත් වූයේ, ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට තරගයේ වැඩි වාසිය හරවා දෙමිනි.

අවසානයේ සිය නියමිත පන්දුවාර 20 තුල බංග්ලාදේශ කණ්ඩායමට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 141ක් පමණි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක අමිල අපෝන්සු ලකුණු 13ක් කුල කඩුලු 3ක් දවා ගැනීමට සමත් වෙද්දී, චාමික කරුණාරත්න කඩුලු 2ක් දවා ගනිමින් අමිල හට සහය විය.

ශ්‍රී ලංකාව – 188/7 (20): ජනිත් ලියනගේ 40, චාමික කරුණාරත්න 28*,කේ. ජයවික්‍රම 18*, හශාන් දුමිඳු 17, අරිෆුර් රහමාන් 2/18, අන්ජුම් අහමඩ් 2/28.

බංග්ලාදේශය – 141/7 (20): ජසිම් උඩ්ඩින් 32, නහිදුල් ඉස්ලාම් 24, අන්ජුම් අහමඩ් 23*, අමිල අපෝන්සු 3/13, චාමික කරුණාරත්න 2/26.

තරගයේ වීරයා – ජනිත ලියනගේ (ශ්‍රී ලංකාව – BMS)

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළඟ තරගය හෙට (11) එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟින් කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන අතර, එම තරගය දහවල් 2.00ට ආරම්භ වීමට නියමිතව ඇත.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට