ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා අදියරේ ප්‍රවේශ පත්‍ර අලෙවිය හෙට (17) සිට!

Asia Cup 2023

2574
Asia Cup 2023

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරගවලට අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමට හෙට (17) දහවලේ සිට ආරම්භ වීමට නියමිත බව වාර්තා වනවා.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සත්කාරකත්වය දරන මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ පළමු අදියර අගෝස්තු මස 17 (හෙට) දින දහවල් 12.30 (12 pm PST) සිට ආරම්භ කරන බව දැනුම් දී තිබෙනවා.

මෙම ප්‍රවේශ පත්‍ර pcb.bookme.pk වෙබ් අඩවිය හරහා මිල දී ගැනීමට අවස්ථාව සලසා ඇති අතර, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සහ පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ (PCB) නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙම නිවේදනය ලබා දීමට නියමිත බව ද දැනුම් දී තිබෙනවා.

එමෙන්ම තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග වෙනුවෙන් ප්‍රවේශ පත් අලෙවි කිරීමේ දෙවන අදියර හෙට දිනයේ ම සවස 7.00 (6.30pm PST) ආරම්භ වීමට නියමිතයි. එමෙන්ම සැප්තැම්බර් මස 02දා පැවැත්වීමට නියමිත බොහෝ ප්‍රේක්ෂක අවධානයක් යොමු වී ඇති ඉන්දු – පාකිස්තාන එක්දින තරගය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීම ද මෙම දෙවන අදියර තුලින් සිදු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ දී එක් ජාතික හැඳුනුම්පතකින්/ විදේශ ගමන් බලපත්‍රයකින් ප්‍රවේශ පත හතරක් දක්වා මිල දී ගැනීමට හැකියාව ඇති නමුත් ඉන්දු – පාකිස්තාන තරගය සඳහා එය ප්‍රවේශ පත්‍ර දෙකක් දක්වා සීමා වන බවත් විශේෂයෙන් දැනුම් දී තිබෙනවා.

අගෝස්තු මස 30 වැනි දා පාකිස්තානය සහ නේපාලය අතර තරගයෙන් ආරම්භ වීමට නියමිත මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පළමු තරගය අගෝස්තු මස 31 වැනි දා පල්ලෙකැලේ දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය ද ඇතුළුව තරග 9ක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ලෙසිනුයි මෙවර තරගාවලිය සැලසුම් කර තිබෙන්නේ.

එමෙන්ම පාකිස්තානයේ පැවැත්වීමට නියමිත තරග වෙනුවෙන් ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම පසුගිය සතියේ ආරම්භ වුනා.

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<