වෙනත් ලීග්වලට වඩා Shamsi LPL වලට කැමති ලු!

Lanka Premier League 2023

7226

වෙනත් සමහර විස්සයි විස්ස ලීග් තරගාවලිවලට වඩා තමන් පෞද්ගලිකව LPL තරගාවලියට කැමැත්තක් දක්වන බව දකුණු අප්‍රිකානු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක Tabraiz Shamsi සඳහන් කරනවා. 

මෙවර LPL තරගාවලියේ Galle Titans කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නාගේ භූමිකාවට පණ පෙවීමේ වගකීම ලද Shamsi මෙතෙක් ඔහු තරගාවලියේ ක්‍රීඩා කළ තරග 7 තුළ කඩුලු 11ක් දවා ගැනීමට සමත් වී සිටින්නේ තරගාවලියේ දෙවැනියට සම (වනිඳු හසරංග සමඟින්) වැඩිම කඩුලු ලාභියා බවට ද පත් වෙමිනුයි. 

ආබාධ තත්වයක් නිසා මාස හතරක පමණ කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත් වී සිටීමට සිදු වූ Shamsi ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සිය නැවත පැමිණීම LPL තරගාවලිය හරහා සිදු කළා. 

තරගාවලිය තුළ දී කෙමෙන් සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසුණු Shamsi විසින් එහි උපරිම අවස්ථාවට ළඟා වෙමින් ඊයේ (15) දිනයේ Colombo Strikers සමඟ පැවැත්වුණු තීරණාත්මක තරගයේ දී මෙවර තරගාවලියේ සිය හොඳම පන්දු යැවීම සටහන් කරමින් ලකුණු 20කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා. 

“ඇත්තටම සතුටුයි. මම ක්‍රීඩා කරපු හැම තරගයක ම මගේ උපරිමය කරන්න මම උත්සාහ කළා.” 

තරගයෙන් අනතුරුව ThePapare.com වෙත අදහස් දක්වමින් Shamsi පවසා සිටියේ දඟපන්දු යවන්නන්ට වඩාත් උචිත තණතීරුවක් තුළ දක්ෂතා පෙන්වීමට හැකි වීම පිළිබඳ සතුටට පත් වන බවයි. එමෙන්ම එවන් තණතීරුවක් තුළ පවා සිය කණ්ඩායමේ වේගපන්දු යවන්නන් දැක්වූ දක්ෂතා පිළිබඳව ද ඔහු ඉතා පැහැදීමකින් යුතුව අදහස් පළ කරා. 

විශේෂයෙන්ම ඊයේ තරගයේ Colombo Strikers ඉනිමේ ආරම්භක කඩුලු දෙක ම බිඳ හෙළමින් Galle Titans වෙත විශිෂ්ට අරම්භයක් ලබා දීමට ලහිරු කුමාර සමත් වුනා. එමෙන්ම මීට පෙර Jaffna Kings සමඟ තරගයේ දී කසුන් රාජිත සිය උපරිමය කණ්ඩායම වෙත ලබා දීමට ද සමත් වුනා. 

මේ අතර තරගාවලිය පුරාවටම Titans පන්දු යැවීම ඔවුන්ගේ පිතිකරණයටත් වඩා ඉහළින් කැපී පෙනුණු බවත් මෙහි දී සඳහන් කළ යුතුයි. 

මෙවර තරගාවලියේ තරග 8ක් ක්‍රීඩා කළ Titans කණ්ඩායම ඉන් තරග හතරක් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, එම ජයග්‍රාහී තරග 4න් 3ක දීම සිය ප්‍රතිවාදීන් ලකුණු 100ට අඩුවෙන් දවා ගැනීමට Titans පන්දු යැවීමේ බළඇණිය සමත් වී තිබෙනවා. 

කෙසේ වෙතත් ඊයේ තරගය මෙම කණ්ඩායම් දෙකට ම අතිශය තීරණාත්මක එකක් වූ අතර එය ජයග්‍රහණය කිරීම Play-Off වටය වෙත සුදුසුකම් ලැබීමට ඔවුන්ට ඇති එකම අවස්ථාව (වර්ෂාවට අමතරව) වී තිබුණා.  

කෙසේ වෙතත් ඊට පෙර පසුගිය 13 වැනි දා Galle Titans සහ Jaffna Kings අතර පැවැත්වුණු තරගයේ දී තම කණ්ඩායම තවත් කල්පනාකාරී වුවා නම් මෙවන් තීරණාත්මක සහ පීඩනය පිරි තරගයක් ක්‍රීඩා කිරීමට සිදු නොවන බව Shamsi විසින් ඊයේ තරගයෙන් අනතුරුව පැවසුවා. 

“Jaffna තරගයෙන් පසුව ටිකක් කලකිරුණා, මොකද අපි තේරුම් ගත්තා අපි ටිකක් වේගයෙන් ඒ ලකුණු හඹා ගියා නම් අපිට එමගින් ම සුදුසුකම් ලබන්න තිබුණා සහ අපිට අද (15) තරගය Knockout තරගයක් ලෙස ක්‍රීඩා නොකර ඉන්න තිබුණා කියලා. 

අද ඔවුන් අඩු ලකුණු ගණනකට දවා ගත්තහම අපි ඒ වරද ආයෙත් නොකරන බවට තහවුරු කර ගත්තා.” 

ඊයේ තරගයට පෙර තරගාවලියේ මූලික වටයේ ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිටි Galle Titans ඊයේ තරගය ජයග්‍රහණය කිරීමත් සමඟ ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමට සමත් වුනා.  

එවන් දක්ෂතාවක් පෑමට හැකි වීම පිළිබඳ තමන් විශේෂයෙන්ම සතුටට පත් වන බව සඳහන් කළ Shamsi විසින් තමන් කඩුලු දවා ගැනීමෙන් පසුව සිදු කරන විශේෂ කඩුලු සැමරීම (සිය සපත්තුවක් ගලවා දුරකථන ඇමතුමක් යොමු කරන මෙන් රඟ දැක්වීම) පිළිබඳවත් මෙහි දී අදහස් පළ කරා. 

“මම කැමතියි ක්‍රීඩා කරද්දී විනෝදයෙන් ඉන්න. මොකද හැම තිස්සේ ම පීඩනයක් තියෙනවා. 

මට අවශ්‍යයි මගේ ක්‍රීඩාවෙන් සතුටු වෙන්න. 

සමහර වෙලාවට ඔබ කඩුල්ලක් දවා ගත්තාම විනිසුරුවන් එය තෙවැනි විනිසුරු හරහා එය දැවී යාමක් ද නැද්ද, ඒක නිපන්දුවක් ද නැද්ද කියලා තහවුරු කර ගන්නවා. 

ඒ නිසා ඒකම තමයි මමත් කරන්නේ. තෙවැනි විනිසුරු අමතලා එය දැවී යාමක් ද නැද්ද කියලා තහවුරු කර ගන්නවා (සිනාසෙමින්).” 

මෙවර LPL තරගාවලියේ Play-Off වටයේ තරග හෙට දිනයේ (17) පටන් ආරම්භ වීමට නියමිතයි. එහි දී තරගාවලියේ Qualifier 1 තරගය Galle Titans සහ Dambulla Aura කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත අතර, මෙම තරගය ජයග්‍රහණය කිරීමට සමත් වන කණ්ඩායම එළඹෙන ඉරිදා (20) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි. 

නමුත් කෙතරම් තීරණාත්මක හෝ විශාල තරගයක් වුව ද අනවශ්‍ය වෙනස්කම් හෝ කලබල වීමකින් තොරව තම අත්දැකීම් මත විශ්වාසය තබා අදාළ තරගයට සහභාගී වීම Galle Titans කණ්ඩායම විසින් සිදු කරන බවයි Shamsi විසින් ඊයේ තරගයෙන් අනතුරුව සඳහන් කළේ. 

“අපි හොඳට ක්‍රීඩා කළ නිසා මම හිනාවෙනවා. නමුත් තවත් හොඳ තරග දෙකක් ක්‍රීඩා කරන්න ඉතුරු වෙලා තියෙනවා.” 

මේ අතර මෙවර තරගාවලිය පිළිබඳ ඉතා ප්‍රශංසාත්මක ලෙස අදහස් පළ කළ Shamsi විශේෂයෙන්ම අවධාරණය කලේ ඉතා තියුණු ස්වභාවයක් ගත්, සියලු ම කණ්ඩායම් කරට කර තරග වැදුණු මෙවර LPL තරගාවලියට තමන් පෞද්ගලිකව ඉතා කැමැත්තක් දක්වන බවයි. 

“ඇත්තටම කඩුලු දඟ කැවෙනවා. දඟ නොකැවෙන කඩුලු ලැබෙන සමහර ලීග් වලට වඩා මම මේ තරගාවලිය විඳිනවා.” 

මේ අතර ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා නම් කළ දකුණු අප්‍රිකානු සංචිතවලට සිය නම ඇතුළත් වීම සම්බන්ධයෙන් ද තමන් අතිශය සතුටට පත් වූ බවත් Shamsi විසින් මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළා. 

2023 LPL තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<