LPL පිටියට එක්වෙන ළාබාල “ගාලු පොඩ්ඩා”

3151
Navod Paranavithana

මේ දවස්වල කාගේත් කතාව ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ගැනයි. තවත් සති දෙකකින් මේ තරගාවලිය පැවැත්වෙනවා. තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද ළාබාලතම ක්‍රීඩකයා වෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් Colombo Kings කණ්ඩායමේ 18 හැවිරිදි නවෝද් පරණවිතාන. මේ ඔහු සමඟ ThePapare.com කළ සාකච්ඡාවක සටහනක්.

“මගේ ක්‍රිකට් වීරයන් සමඟ එකට එක්ව ක්‍රීඩා කරන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. නිමා වූ තරගවල ද අත්දැකීම් සමඟින් මේ තරගාවලියට හොඳින් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. කොරෝනා වසංගත තත්ත්වය නිසා පුහුණුවිම් කටයුතු නම් ටිකක් මඟ හැරුණා. ඒත් ලැබෙන අවස්ථාවන්වල දී පුහුණුවිම් කළා. තරගාවලියට සාර්ථකව මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා” නවෝද් ThePapare.com සමඟ කතාව ආරම්භ කළා.

ගාල්ල මහින්දේ තමයි නවෝද්ගේ ඉස්කෝලෙ. පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙක් රැස් කරන ලද වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව තිබෙන්නේ නවෝද් සතුව. ඒ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව රැස් කරන ලද ලකුණු 409. ඒ වෙනුවෙන් ඔහු මිනිත්තු 502ක් කඩුල්ලේ රැඳී සිටින අතර පන්දු 327කට මුහුණ දෙමින් හතරේ පහර 39ක් සහ හයේ පහර 19ක් ද එම ඉනිමට ඇතුළත් කර ගන්නවා. ඇතැම් විට මේ ලකුණු ප්‍රමාණය මෙරට ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඕනෑම මට්ටමේ තරගයක ඉනිමක දී රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය හැකියි.Navod Paranavithana“ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් වැඩි කාලයක් ගත කරපු නිසා පාසල් කණ්ඩායම එක්ක එකතු වෙන්න ලැබුණෙ අඩු තරග සංඛ්‍යාවකට. ඒත් ඉතිං එතැනත් හිත සතුටු වෙන ඉනිමක් තිබුණෙ නැහැ. ඒ නිසා මට දැඩි අවශ්‍යතාවක් තිබුණා හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න. ධර්මාශෝකය කියන්නේ හොඳ පන්දු යවන්නන්ගෙන් සමන්විත කණ්ඩායමක්. ඔවුන්ගෙන් දැඩි පීඩනයක් තිබුණා. මේ පීඩනය ලකුණු 200ක් ගහනකම් දැඩි ලෙස තිබුණා. ඊට පස්සෙ නම් මට ඉතා ලෙහෙසියෙන් ලකුණු 400ට යන්න හැකි වුනා. ඒ වගේ විශාල ඉනිමක් ක්‍රීඩා කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා” නවෝද් එදා වාර්තාගත ඉනිම ගැන සිහිපත් කළේ ඒ ලෙසින්.

නවෝද් මේ වාර්තාවට අමතර ව තවත් වාර්තා කිහිපයකටම හිමිකම් කියනවා. ඒ අතරට වයස අවුරුදු 13න් පහළ සහ වයස අවුරුදු 15න් පහළ තරගාවලිවල ලකුණු 1000ක් බැගින් වාර්තා කළ පළමු ක්‍රීඩකයා වන්නේ නවෝද්. එමෙන් ම රිච්මන්ඩ් – මහින්ද ආදරවන්තයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයට එක් වූ ළාබාලතම ක්‍රීඩකයා වන්නේ ද නවෝද්. ඒ වෙද්දී ඔහුට වයස අවුරුදු 13ක්. එමෙන්ම නවෝද් මේ දක්වා ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ද ලකුණු 1000 සීමාව පසු කර තිබෙනවා. ඇතැම් විට එය ද වාර්තාවක් විය හැකියි.

“මට හැම තරගයක්ම එක වගේ. ඒ හැම තරගයක දී ම මතක හිටින දක්ෂතාවක් දැක්විය යුතුයි කියන ආසාව මට තිබෙනවා. ඉතිං මම බැට් කරද්දී බොහොම පරිස්සම් වෙනවා. ඒ නිසා ලැබූ ප්‍රතිඵල තමයි ඒ. ඒත් ඉතිං වයස අවුරුදු 19න් පහළ පාසල් කණ්ඩායම සමඟ එක්වෙමින් මට ලකුණු 1000ක් වාර්තා කරන්න ලැබෙන්නේ නැහැ. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා එක්වීම නිසා මට පාසල් තරග බොහොමයක් මඟ හැරෙනවා. ඒ ගැන පොඩි කනගාටුවක් තියෙනවා” නවෝද් තමන්ගේ ක්‍රිකට් සැමරුම් ගැන කියන්නේ ඒ ආකාරයෙන්.

Navod Paranavithanaනවෝද් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසෙන්නේ තම වැඩිමල් සහෝදරයා වන බිනෝද් පරණවිතාන නිසා. ඔහු ඒ දිනවල මහින්ද විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෙක්. බිනෝද් ක්‍රිකට් පුහුණුවිම්වලට යන හැම දවසකම වගේ නවෝද් ද එක්කගෙන යෑමට ඔවුන්ගේ පියාට සිදු වෙනවා. එහෙම ගියපු ගමනක ප්‍රතිඵලය තමයි නවෝද්.

“අයියා බැට් කරද්දී මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. එහෙම නැති වෙලාවට මම ඉන්න තැන ඉඳගෙන තනියම සෙල්ලම් කරනවා. ඒ අතර දවසක තාත්ත මගෙන් අහනවා ක්‍රිකට්වලට දාන්න ද කියලා. එතකොට මම හයේ පංතියේ. එදා ඉඳල මම ක්‍රිකට් ගහනවා.”

නවොද් ඒ වෙද්දී ද ක්‍රිකට් අංකූරෙක්. පිටියෙන් පිටත දක්ෂතා දැක්වූවෙක්. ඒ නිසා ම නවෝද්ට ක්‍රිකට් ආරම්භ කළ පළමු අවුරුද්දේ ම මහින්දෙ වයස අවුරුදු 13න් පහළ පළමු පෙළ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට වරම් ලැබෙනවා. අවසන් වසරේ දී කණ්ඩායමේ නායකයා වෙන්නේත් නවෝද්.

ඒ 2015 වසර. නවෝද් තම නායකත්වයේ වසර අවසන් කරන්නේ පිතිකරුවෙක් ලෙසින් ලකුණු 1000ක් රැස් කරමින්. ඊට අමතර ව පන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 23ක් ද ඔහුට අයිති වෙනවා. දෙබරවැව ජාතික පාසලට එරෙහිව රැස් කරන ලද ලකුණු 175 හොඳම ඉනිම වෙන අතර ඊට තවත් ශතක 6ක්  ද එක් වෙනවා. මේ දක්ෂතා හේතුවෙන් නවෝද් එම වසරේ දී ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීම් උත්සවයේ දී වසරේ දක්ෂතම පිතිකරු මෙන්ම දක්ෂතම ක්‍රීඩකයා යන සම්මාන ද්විත්වයෙන් ද පිදුම් ලබනවා. එමෙන් ම එම වසරේ දී පැවති ප්‍රීමා කුසලාන පළාත් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් ද සම්මාන ලබන්නේ නවෝද්.

ඊට පසුව නවෝද්ගේ දක්ෂතා ගොනු වෙන්නේ වයස අවුරුදු 15න් පහළ කාණ්ඩයට. එහි දී ද දෙවැනි වසරේ දී නායකත්වයට පත් වෙන නවෝද් එම වසරේ දී ද ලකුණු 1000ක් ලබා ගැනීමට සමත් වෙනවා. එම ලකුණු අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයට එරෙහිව රැස් කරන ලද ලකුණු 168යි. මේ දක්ෂතා සමඟින් නවෝද් පළමු වරට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායමේ සංචිතයට ද කැඳවීම් ලැබෙනවා.

ඒ අතර වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම ද නියෝජනය කළ නවෝද්ට ඒ වසර ද්විත්වයේ දී එතරම් ම දෙයක් තම කණ්ඩායම වෙනුවෙන් කරන්නට ලැබෙන්නේ නැහැ. නමුත් වරෙක ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් එම වයස් කාණ්ඩයේ ද සොඳුරු මතකයක් තබා ගැනීමට නවෝද් සමත් වෙනවා.

තවත් විශේෂාංග ලිපි:

වයස අවුරුදු 19න් පහළ තරගාවලියට එක්වූ පළමු වසරේ දී ම නවෝද් ශතක 2ක් සහ අර්ධ ශතක 5ක් සමඟින් ලකුණු 567ක් ලබා ගන්නවා. අනතුරුව 2017 වසරේ දී තරග 12කට එක්වෙන නවෝද් ශතක 5ක් සමඟින් ලකුණු 958ක් ලබා ගන්නවා. ඊට අමතර ව කඩුලු 20ක් ද ඔහු සතු වෙනවා. 2018/19 වසරේ දී නවෝද්ගේ දක්ෂතාව ලකුණු 900කින් සීමා වෙනවා. එම වසරේ පෑ දක්ෂතා හේතුවෙන් නවෝද් “Dialog 4G – The Sunday Times Schoolboy Cricketer 2019” සම්මාන උළෙලේ දී ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා මෙන් ම වසරේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසින් ද සම්මානයෙන් ද පිදුම් ලැබීමට වාසනාවන්ත වෙනවා.

“2017 අවුරුද්දේ ඉඳල ම මට මහින්දෙ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබෙනවා. ඒ සෑම වසරක ම වාර්ෂික මහා ක්‍රිකට් තරගයටත් ක්‍රීඩා කිරීමට ලැබෙනවා. මම හිතනවා ඒක කලාතුරකින් ක්‍රීඩකයෙක්ට ලැබෙන අවස්ථාවක්. මම විශ්වාස කරනවා මට මේ අවස්ථාවන් ලැබුණේ මගේ දක්ෂතා නිසා කියලා. මේ පිටුපස විද්‍යාලයේ සහ විද්‍යාලයට ආදරය කරන ගොඩක් දෙනෙක් මාත් සමග ඉන්නවා. ඔවුන් සෑම සියලු දෙනා ම මේ අවස්ථාවේ ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා” නවෝද් පැවසුවා.

නවෝද්ගේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ඉතිහාසය ලියැවෙන්නේ 2017 වසරේ සිට. එතැන් සිට මේ දක්වා එම වයස් කාණ්ඩයේ රටවල් 14ක කණ්ඩායම් සමඟ ජාත්‍යන්තර තරග 38කට සහභාගී වීමට නවෝද් සමත් වෙනවා. ඒ තරග අතරින් නවෝද් ඉතා කැමැත්තෙන් සමරන්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පෑ දක්ෂතාවයි. එම තරගාවලියේ දී නවෝද් එංගලන්තයට එරෙහිව ලකුණු 109ක් රැස් කරන අතර එය ඔහුගේ එම වයස් කාණ්ඩයේ ඉහළම දක්ෂතාව ද වන්නේ ය. එම තරගාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සතු වෙන අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබන්නේ ද නවෝද්.

“පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ ඉහළ ම බලාපොරොත්තුව වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ක්‍රීඩා කිරීම. මට ඒ අවස්ථාව ඉතා ළාබාල අවධියේ දී ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ලැබීම ගැනත් සතුටු වෙනවා” නවෝද් පවසනවා.

නවෝද්ගේ පියා කැළුම් පරණවිතාන. විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක්. මව දීප්ති දහනායක ගෘහණියක්. වැඩිමල් සහෝදරයා බිනෝද් පරණවිතාන මේ වන විට යුද හමුදාවේ සේවය කරනවා. බාල සහෝදරයා වන චමෝද් පරණවිතාන, මහින්ද විද්‍යාලයේ ඉගනුම ලබනවා.

“මට මේ තරම් දුරට ක්‍රිකට් ගහන්න ලැබෙන්නේ අයියා කළ කැප කිරීම නිසා. අපි දෙන්න ම ක්‍රීඩා කරද්දී ලොකු වියදමක් කරන්න වුනා. අපි දෙන්නගෙන් කෙනෙක්ට විතරක් ක්‍රීඩාව තෝර ගන්න වුනා. ඒ වෙද්දී මම ක්‍රීඩකයෙක් ලෙසින් අයියට වඩා ටිකක් ඉදිරියෙන් හිටියේ. අයියා මට අවස්ථාව දීල එයා ක්‍රිකට්වලින් ඉවත් වුනා. ඒ කැප කිරීම උතුම්. ඒ ගැන කියන්න වචන නෑ. ඒ වගේ ම තමයි අම්මත්, තාත්තත් නිතර ම මගේ පිටුපස සිටියා. ඔවුන් කළ කැපකිරීම අදටත් ඒ විදිහට ම කරනවා. මල්ලි වුනත් මගේ වැඩවලට දක්වන දායකත්වය අමතක කරන්න බැහැ” නවෝද් පවසනවා.

Navod Paranavithana
නවෝද්, මව සහ පියා සමඟ

නවෝද්ට තවත් වසරක් පාසල් ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව තිබෙනවා. එළඹෙන 2021 වසරේ දී මහින්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දරන්නේ නවෝද්. එමෙන් ම නවෝද් නිමා වූ වයස අවුරුදු 23න් පහළ තරගාවලියේ දි ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය ද නියෝජනය කළා. එහි දී අර්ධ ශතක දෙකක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට ද ඔහු සමත් වෙනවා. එමෙන් ම නවෝද් මෙම කාලයේ දී වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය ද නියෝජනය කරමින් දක්ෂතා දැක්වීමට සමත් වෙනවා.

“දැන් ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි. ඉතා ඉක්මනින් ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්වෙමින් දීර්ඝ කාලයක් එහි ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා” නවෝද් අප සමග කතා බහ කරමින් පැවසුවා.

ඔහුගේ බලාපොරොත්තු සඵල වේවායි ThePapare.com ද ප්‍රාර්ථනා කරමු.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<