Liverpool ප්‍රේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර මුදල් ආපසු

UEFA ශූරයින්ගේ ලීගය

222

යුරෝපා ක්‍රීඩා සමාජ පාපන්දු පිටියේ ප්‍රධාන තරගාවලියක් වන ශූරයින්ගේ කුසලානයේ පසුගිය (2022) වසරේ අවසන් මහා තරගයට සහභාගී වූ Liverpool ප්‍රේක්ෂකයින්ට සිය ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ආපසු ලබා ගැනීමට හැකි බව යුරෝපා පාපන්දු සංගමය (UEFA) ප්‍රකාශ කර තිබෙනවා.

අවසන් මහා තරගයේ දී ක්‍රීඩාංගණයෙන් පිටත ඇති වූ තත්වය පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් පසු එම සිදුවීමට යුරෝපා පාපන්දු සංගමය වගකිය යුතු බව ප්‍රකාශ කර තිබුණා.

Real Madrid සමඟ පැවති මෙම අවසන් මහා තරගයට පෙර ක්‍රීඩාංගණයෙන් පිටත ඇති වූ තත්වය නිසා තරගය මිනිත්තු 36ක් ප්‍රමාද වී ආරම්භ කිරීමට සිදු වූ අතර තරගයේ ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය හිමි වුනේ Real Madrid කණ්ඩායමටයි.

එම සිදුවීම පාලනය කිරීම සඳහා ප්‍රංශ පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර කාන්තාවන් සහ දරුවන් ද ඒ නිසා පීඩාවට පත් වුනා.

යුරෝපා පාපන්දු සංගමය විසින් මෙම සිදුවීම පිළිබඳ Liverpool ප්‍රේක්ෂකයින්ට දෝෂාරෝපණ එල්ල කළ නමුත් පරීක්ෂණයෙන් පසු ඔවුන් එම ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා සිටියා.

Liverpool කණ්ඩායමේ ආධාරක සංවිධාන වන Spirit of Shankly සහ Liverpool Disabled Supporters Association වෙතින් ලැබෙන දායකත්වය සහ මෙම කාලසීමාව පුරාවට සිදු වූ විනිවිද පෙනෙන සංවාද පිළිබඳ අපි අගය කරනවා.

අපි තේරුම් ගත්තා ඔවුන්ට අවසන් මහා තරගය දවසේ අත්විඳින්න වුන අවාසනාවන්ත සිදුවීම ගැන. ඒ නිසා අපි එදා ප්‍රවේශ පත්‍ර මිල දී ගෙන ක්‍රීඩාංගණයට ඇතුළු වීමේ දී අපහසුතාවට ලක් වුන ප්‍රේක්ෂකයින්ගේ මුදල් නැවත ලබා දීමට තීරණය කළා,” යැයි යුරෝපා පාපන්දු සම්මේලනය විසින් ප්‍රකාශ කළා.

A, B, C, X, Y සහ Z යන දොරටුවලින් ක්‍රීඩාංගණයට ඇතුළු වූ ප්‍රේක්ෂකයින්ට මෙම මුදල් නැවත ලබා ගැනීම සිදු කළ හැකි බව ද යුරෝපා පාපන්දු සම්මේලනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙම සිදුවීම පිළිබඳ යුරෝපා පාපන්දු සම්මේලනය ගත් තීරණය ගැන අදහස් දක්වමින් Liverpool ක්‍රීඩා සමාජයේ ප්‍රේක්ෂක සංගම් ප්‍රකාශ කර තිබුණේ,

“යුරෝපා පාපන්දු සම්මේලනය ඔවුන් අතින් වුන වැරැද්ද නිවැරදි කරන්න යම් මාර්ගයක් ඔවුන් හොයා ගෙන තියෙනවා. නමුත් ඒක නිදහසට කරුණක් නෙවෙයි, ඔවුන්ට එල්ල වන විවේචනවලින් නිදහස් වෙන්න නම් පරීක්ෂකයෙන් නිර්දේශ කරපු සියල්ල ක්‍රියාත්මක කරන්න වෙනවා.”

මෙම මුදල් ආපසු ගැනීම පිළිබඳ ප්‍රකාශ කරමින් යුරෝපා පාපන්දු සම්මේලනය ප්‍රකාශ කළේ, තරගය ආරම්භ වන වේලාවට පෙර ක්‍රීඩාංගණයට ඇතුළු වීමට නොහැකි වූ හෝ ක්‍රීඩාංගණයට ඇතුළු වීමට නොහැකි වූ ප්‍රේක්ෂකයින්ට සිය මුදල් ආපසු හිමි වන බවයි.

“ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමේ දී ක්‍රීඩා සමාජය හරහා ප්‍රවේශ පත්‍ර ලබා ගත් ප්‍රේක්ෂකයින්ට ඔවුන්ගේ සියලු විස්තර තහවුරු කර ගැනීමෙන් පසු නැවත මුදල් ලබා දෙන ලෙස ක්‍රීඩා සමාජයෙන් ඉල්ලා සිටිනවා,” යැයි යුරෝපා පාපන්දු සම්මේලනය ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම තරගය සඳහා ප්‍රවේශ පත්‍ර ලබා ගත් Real Madrid සහ වෙනත් ප්‍රේක්ෂකයින්ට ද අදාළ කොන්දේසි මත සිය මුදල් නැවත ලබා ගැනීමට හැකි බව ද යුරෝපා පාපන්දු බලධාරීන් ප්‍රකාශ කළා.

Times of India ඇසුරිනි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<