තාත්තාගේත් අයියාගේත් සිහින ඉටු කිරීමට ක්‍රිකට් ගහන “අංජු මල්ලි”

1057

ශ්‍රී ලාංකීය යොවුන් වේගපන්දු යවන්නන් අතර ඉදිරියෙන් කියැවෙන නම් අතර කවිශ්ක අංජුලගේ නම ද වේ. අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් පෙතේ හිනි පෙත්තට නැඟි ඔහු එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කිරීමට ද සුදුසුකම් ලබා සිටී.  

අංජු ඉපදුණේ අම්බලන්ගොඩට තදාසන්න ප්‍රදේශයක් වන ගොඩහේන කියන ග්‍රාමයේ දරුවන් සිවු දෙනෙක්ගෙන් යුත් පවුලේ දෙවැනි පිරිමි ළමයා ලෙසින්. වැඩිමලා රුවින්ද ශ්‍යාමේන්. අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා කොළඹ ආනන්ද විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ 2011 වසරේ උප නායකත්වය දක්වා ගිය කෙනෙක්. මල්ලි, කවීෂ කල්පන. අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය වයස අවුරුදු 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම් නියෝජනය කරනවා. අංජු ඇතුළු මේ තිදෙනා ම වේගපන්දු යවන්නෝ.

Kavishka Anjula
අංජු, මල්ලි කවීෂ සහ අයියා රුවින්ද සමඟ

“අපි තුන් දෙනා දන්න කියන කාලෙ ඉඳලම ක්‍රිකට් ගැහුවා. තාත්තගේ ලොකු කැමැත්තක් තිබුණා අපිව ක්‍රිකට්වලට යොමු කරන්න. මුලින්ම ක්‍රිකට් ගහන්නේ අයියා. තාත්ත තමයි අපි හැමෝගේම මුල්ම පුහුණුකරු වෙන්නේ” අංජුල තම පවුලේ ක්‍රිකට් පැටිකිරිය ගැන කියන්න එකතු වුනේ ඒ ආකාරයෙන්. 

අංජුලාගේ තාත්තා, සිසිර පත්මලාල්. අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඇඟේ හයියටත්, හිතේ හයියටත් ක්‍රිකට් ගැහුවට සිසිරලාට ඒක දිගින් දිගටම ගෙනියන් බැරි වෙනවා. ඒ ක්‍රිකට් දෙක වී ආර්ථිකය එක වෙන නිසා. මේ තත්ත්වය කෙතරම් බැරෑරුම් වෙනවා ද කියනවා නම් සිසිර උසස් පෙළ අතරමඟ දී නතර කරල තුන්රෝද රථයක් උඩ තම අනාගත සිහින ගොඩ නගනවා. 

සිසිරලාගේ ගෙවල් සහ ගොඩහේන පිට්ටනිය වෙන් වෙන්නෙ ඉනි වැටකින්. මේ නිසා කොතරම් අඩු-පාඩු තිබුනත් කොලු කාලෙ ක්‍රිකට් ගැහිල්ල සිසිර නතර කරන්නෙ නැහැ. ඒ වෙනුවෙන් ගමේ හොඳ ඉල්ලුමක් සිසිරට තිබුණා. ඒත් ඉතිං ඔහුගේ ක්‍රිකට් දක්ෂතා  ගොඩහේන පිටියට විතරක් සීමා වෙනවා. 

Kavishka Anjula
අංජු ගැන සිහින දකින පියා සහ මව

“තාත්තට ක්‍රිකට් ගහන්න බැරි වීම ගැන තාත්ත අදටත් දුක් වෙනවා. තාත්තා දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. පාසලෙන් ඉවත් වෙලත් පාසල් කණ්ඩායමට සෙල්ලම් කරල තියෙනවා. ඒ තරමට තාත්තගෙ දක්ෂතා ඉහළ මට්ටමක තිබිල තියෙනවා. තාත්ත තමයි අපිටත් ක්‍රිකට් උණ බෝකරන්නේ. ලැබෙන සුළු විවේකයේ දී පවා අපිව පිට්ටනියට එක්ක යනවා. මේ ක්‍රිකට් ගැහිල්ල නිසා, අපි කුඩා කාලෙ අපිට වඩා තාත්ත තමයි අම්මගෙන්, සියල – ආච්චිලගෙන් බැනුම් අහන්නේ” අංජුල තම පවුලේ ක්‍රිකට් ගැහිල්ල ගැන සිහිපත් කළේ එලෙසින්. 

කොතරම් බැනුම් ඇහුවත් සිසිර නෙමේ දරුවන්ගේ ක්‍රිකට් ගැහිල්ල නතර කළේ. පෙරටත් වඩා අඩු-පාඩු දැනෙද්දී සිසිර පසු බැස්සේ නැහැ. මොකද දරුවන් නිදි කරල තිබුණෙ සිසිරගෙ සිහින දකින්න.  සිසිරට අවශ්‍ය වුනේ තමන්ට ගොඩ නගාගන්න බැරි වූ අනාගතයක් තම දරුවන්ට උරුම කරන්න. 

“අයියා දේවානන්ද විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් දක්ෂතා දක්වමින් සිටිද්දී කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ආරාධනා ලැබෙනවා. ඒ වෙද්දී දිනේෂ් අයියත් (චන්දිමාල්) හිටියෙ ආනන්දෙ. මමත් ඒ වෙද්දී දේවානන්දෙ ක්‍රිකට් ගහනවා. අයිය ආනන්දෙට යන තීරණය ගත්තෙ හරි අමාරුවෙන්. අපි හැමෝගෙම පාසල වුනේ දේවානන්දෙ. ඒක දාල යන්නත් බැහැ. ඒ වගේම මේ වගේ අවස්ථාවක් මඟ හරින්නත් බැහැ. කොහොම වුනත් තාත්තගෙ සිහිනයට හරි යන තැන ආනන්දෙ කියල අන්තිමට තීරණය වුනා.”

ඒ අනුව රුවින්දගේ ක්‍රිකට් ජීවිතය 2007 වසරේ සිට ලියැවෙන්නේ කොළඹ ආනන්ද විද්‍යාලය ඉදිරියේ. වයස අවුරුදු 17න් පහළ ක්‍රීඩා කරන රුවින්ද එහි පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට එක් වෙන්නේ 2009 වසරේ දී. ඒ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග එක් වෙමින්. එම වසරේ දී රුවින්ද ලකුණු 300කට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා අතර වමත් වේගපන්දු යවන්නෙක් ලෙසින් කඩුලු 49ක් ලබා ගන්නවා.

එම අවුරුද්දේ දී රුවින්ද පළමු වරට සුලෝහිත සංග්‍රාමය දක්වා තම දක්ෂතා එක් කිරීමට සමත් වෙනවා.  ඊට පසු අවුරුද්දේ දී මතීෂ පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම හා එක්වෙමින් රුවින්ද ලකුණු 481ක් සහ කඩුලු 30ක් ලබා ගන්නවා. එම අවුරුද්දේ පැවති 81 වැනි සුලෝහිත සංග්‍රාමයේ තරගයේ වීරයා සම්මානය දිනා ගන්නේත් රුවින්ද. 

2011 වසරේ දී දේශාන් විමලධර්මගේ නායකත්වයෙන් යුත් ආනන්ද කණ්ඩායමට උපනායකයා ද ලෙසින් එක් වෙන රුවින්ද එවර ලකුණු 420ක් ලබා ගන්නේ සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට එරෙහිව ශතකයක් ද වාර්තා කරමින්. ලබා ගත් කඩුලු සංඛ්‍යාව 32කි. 

Kavishka Anjula
88 වැනි සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරව අවසන් වූ පසුව

මේ කාලයේ දී චතුර පීරිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම් සංචිතය නියෝජනය කිරීමට ද රුවින්ද සමත් වෙනවා. පාසල් කාලයෙන් ඉවත් වෙද්දී DIMO කණ්ඩායම හා එක්වෙන රුවින්ද 2011 වසරේ වෙළඳසේවා දෙවැනි කොටසේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනා ගන්නවා. කොළඹ බ්ලූම්ෆීල්ඩ්, බදුරලිය සහ සැරසන්ස් යන කණ්ඩායම් ද නියෝජනය කරන රුවින්ද මේ වන විට ඔස්ට්‍රේලියාවේ Money Shield තරගාවලියේ Montmorency ක්‍රිකට් සමාජය නියෝජනය කරනවා. 

“අයියට ඕස්ට්‍රේලියා යන්න අවස්ථාව ලැබෙන්නෙ හදිස්සියේම වගේ. මෙරට ක්‍රිකට් ගහන්න කොච්චර කැමති වුනත් ගෙදර තත්ත්වයත් සලකලා අයියා රට යන්න තීරණය කරනවා. දැන් අයියගෙ සිහිනයත් වෙලා තියෙන්නේ මම.”

අංජුල, අම්බලන්ගොඩින් කොළඹට සංක්‍රමණය වෙන්නේ වයස අවුරුදු 13න් පහළ කාණ්ඩය නියෝජනය කළ අවසන් වසරේ දී. එතැන් සිට ආනන්ද විද්‍යාලය නියෝජනය කළ ද අංජුලට ආනන්දය වෙනුවෙන් වැදගත් යමක් කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් වයස අවුරුදු 17න් පහළ නියෝජනය කළ 2014/15 වසරේ දිවයිනේ දක්ෂතම පන්දු යවන්නා අනුශූරතාව දිනා ගනිමින් අංජු කරළියට පිවිසෙනවා. 

එම වසරේ දී ම වයස අවුරුදු 19න් පහළ පාසල් කණ්ඩායම ද නියෝජනය කිරීමට වරම් ලබන අංජුට එහි තරග 2ක් හිමි වෙනවා. එම තරග දෙකෙන් අනතුරුව පැවති එම වසරේ සුලෝහිත සංග්‍රාමයේ අනපේක්ෂිත ක්‍රීඩකයා ලෙසින් කණ්ඩායමේ ස්ථානයක් ලබා ගැනීමට අංජු සමත් වෙනවා. එකී තීරණය සාධාරණීකරණය කරමින් එම තරගයේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් අභිශේක ලැබීමට අංජු සමත් වෙනවා. 

“ඇත්තටම ඒ ගැන තිබෙන්නේ කිව නොහැකි තරමේ ආඩම්බරයක්. මම කෙරෙහි විශ්වාසය තැබූ සියලු දෙනාගේ අපේක්ෂාවන් ඉටු කිරීමට ලැබීම ගැන අවංකව ම සතුටු වෙනවා” අංජු පවසනවා.

Kavishka Anjulaඅනතුරුව සම්මු අශාන්ගේ නායකත්වයෙන් යුත් 2015 වසරට එක්වෙන අංජු එම වසරේ දී ලකුණු 234ක් ලබා ගන්නා අතර කඩුලු 28ක් ද ඔහු ලබා ගන්නවා. 2016 වසරේ දී නිසල් ෆ්‍රැන්සිස්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම හා එක්වෙමින් පිතිකරුවෙක් ලෙසින් සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලවලට එරෙහිව රැස් කරන ලද ශතක දෙකක් ද සහිතව ලකුණු 860ක් ලබා ගැනීමටත් කඩුලු 55ක් ලබා ගැනීමටත් ඔහු සමත් වෙනවා. එම වසරේ සුලෝහිත සංග්‍රාම එක්දින තරගයේ දී ශතකයක් ලබා ගන්නා අංජු එම තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලබනවා. 

කොළඹ ආනන්දය වෙනුවෙන් අංජුලගේ දායකත්වය ලැබෙන අවසන් වසර වන්නේ 2017. ඒ වසරේ ආනන්දයේ නායකයා ලෙසින් අංජු වැදගත් මෙහෙවරක නිරත වෙනවා. ඒ වසර 22කට පසුව කොළඹ ආනන්දයට වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ශූරතාව දිනා දෙමින්.  එම තරගාවලියේ දී අංජු, මහනුවර ධර්මරාජ, කොටහේන සාන්ත බෙනඩික්ට්, මොරටුව වේල්ස් කුමාර, කටුනේරිය සාන්ත ජෝසප් වාස් සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලවලට එරෙහිව ශතක වාර්තා කරමින් ලකුණු 1021ක් ලබා ගැනීමට සමත් වෙනවා. ලබා ගන්නා කඩුලු ප්‍රමාණය 32ක්. එමෙන් ම සුලෝහිත සංග්‍රාමයේ එම වසරේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලබන්නේ ද අංජු. 

තවත් විශේෂාංග ලිපි:

“අම්බලන්ගොඩින් කොළඹ ඇවිත් මේ තරමින් දක්ෂතා දැක්වීමට ලැබීම ගැන සතුටු වෙනවා. තාත්තගෙන් බැට් එක බෝලෙ අල්ලන්න පුරුදු වුන මට මුලින් ම ක්‍රිකට් උගන්වන්නේ සුරාජ් සංජීව සර්. ඊට පස්සේ රොහාන් සොයිසා සහ තුසිර ද සිල්වා සර්ලත් මගේ ක්‍රිකට් ජීවිතයට බොහෝ දේවල් ඉගැන්වුවා. ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා” අංජු පවසනවා. 

අංජු 2016 වසරේ සිට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය නියෝජනය කළා. අවස්ථා ගණනාවක දී අතිරේක ක්‍රීඩකයෙක් ලෙසින් සංචිතයේ හිටියත්, ඔහුට එම වයස් කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 

එහෙත් පාසල් වයස් සීමාව පසු කරනවාත් සමඟම අංජුලට කොළඹ කෝල්ස්ට් ක්‍රිකට් සමාජය හා එක්වීමට වරම් ලැබෙනවා. එහි ක්‍රීඩා කළ පළමු අවුරුද්දේම පෑ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ සුපර් 4 අන්තර් පළාත් තරගාවලියේ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා. එමෙන්ම ඊට පසුව පැවති අන්තර් පළාත් විස්සයි විස්ස තරගාවලියේ දී ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් නුවර කණ්ඩායම නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා.

2019 වසරේ දී බංග්ලාදේශයේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රිදී පදක්කම දිනා ගත් චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම හා එක්වීමට ද අංජුට අවස්ථාව හිමි වෙනවා. එමෙන්ම ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා එක්වෙමින් එංගලන්තය සමඟ පැවති සිවු දින පුහුණු තරගයට ක්‍රීඩා කරන අංජු එම තරගයේ දී කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. 

“ගොඩක් හොඳ තැනකට එන්න පුළුවන් තරමේ දක්ෂතා දැක්වුවා කියල සතුටු වෙනවා. තව දුර යන්න තිබෙනවා. ඒ කිසි ගමනක් ලේසි නැහැ. ඒ වෙනුවෙන් ගොඩක් කැපවෙලා, මහන්සි වෙලා පුහුණුවිම් කටයුතු කරනවා. ඒ වෙනුවෙන් උදව් කළ සහ කරන බොහෝ දෙනෙක් ඉන්නවා. විශේෂයෙන්ම පාසල් දෙකේ සහ ක්ලබ්වල සියලු දෙනා පොදුවේ මතක් කළ යුතුයි. ඒ සියලු දෙනා සමඟ තාත්තත්, අයියත් මගේ දක්ෂතා හා රැඳී සිටිනවා. අම්මා, අක්කා සහ මල්ලිත් ඒ අතර ඉන්නවා” අංජු පවසනවා. 

Kavishka Anjulaකලක් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කළ අංජු මේ වන විට තම දක්ෂතා මුදා හරින්නේ මූවර්ස් ක්‍රීඩා සමාජයට. එම කණ්ඩායම් ද නියෝජනය කරමින් අංජු මේ දක්වා පළමු පෙළ තරග 26කට මුහුණ දී ලකුණු 696ක් ලබා සිටින අතර කඩුලු 57ක් ලබා ගෙන තිබෙනවා. ඊට අමතර ව List  A යටතේ කඩුලු 13ක් ද විස්සයි විස්ස යටතේ කඩුලු 16ක් ද ඔහුට අයත්.

මේ දක්ෂතාත් සමඟ අංජු ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙසින් ද තේරි පත්ව සිටිනවා. එම තරගාවලියේ දී මෙන්ම යුතුකම් ඉටු කිරීම තම එකම අරමුණ කර ගත් ක්‍රීඩකයෙක් ලෙසින් ඉලක්කගත ගමනක් යෙදෙන කවිශ්ක අංජුලගේ ක්‍රිකට් ගමනට ThePapare.com සුබ පැතුම් එක් කරමු.  

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<