පාකිස්තාන ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙක් ක්‍රිකට් දිවියට සමුදෙති

550
Umar Gul and Imran Farhat

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් දෙදෙනකු වන ඉම්රාන් ෆර්හත් සහා උමාර් ගුල් සිය ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබේ. ඔවුන් දෙදෙනා එළඹෙන පාකිස්තාන දේශීය තරගාවලියෙන් අනතුරුව නැවත ක්‍රීඩා නොකරන බව නිල වශයෙන් දැනුම් දී ඇත. 

පාකිස්තාන දේශීය තරගාවලිය තුළ Balochistan කණ්ඩායම නියෝජනය කරන ඔවුන් දෙදෙනා එළඹෙන 2020 – 21 තරගාවලියෙන් අනතුරුව මෙලෙස ක්‍රිකට් දිවියට සමුදෙන බව ප්‍රකාශ කර තිබේ. මෙම වසරේ තරගාවලිය සඳහා ඔවුන් දෙදෙනාට පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට ආරාධනා ලැබී තිබුනද ඔවුන් දෙදෙනා තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට තීරණය කර තිබිනි. 

මේ වන විට 38 හැවිරිදි වන ඉම්රාන් ෆර්හත්, පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 40ක්, එක්දින තරග 58ක් සහ විස්සයි විස්ස තරග 7කට ක්‍රීඩා කර තිබේ. ඔහු 2001 වසරේ දී පාකිස්තාන ජාතික කණ්ඩායමට පිවිසි අතර 2013 වසර වන තෙක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කළේය. 

සිය ක්‍රිකට් දිවියට සමුදීමෙන් අනතුරුව පුහුණුකරුවෙකු ලෙස තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වීමට ෆර්හත් තීරණය කර ඇත. ඔහුගේ ප්‍රධාන අරමුණ නවක ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩි දියුණු කරමින් තම සේවය ඉටු කිරීම බව ඔහු පවසා තිබේ. 

සිය සමුගැනීම දැනුම්දෙමින් ෆර්හත් සිය අනාගත බලාපොරොත්තුව පිළිබඳව අදහස් දක්වා සිටියේය. 

“මට ඕනේ තරුණ ක්‍රීඩකයන් ඉස්සරහට ගේන්න. මට දැනටමත් පුහුණුකරුවෙකු වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් මට ඕනෙ වුනේ මගේ උපරිම දායකත්වය ඒකට ලබාදෙන්න. මට ඕනෙ වුනා ඒ සඳහා උපරිමයෙන් සූදානම් වෙන්න. ඒ නිසා මේ වසරේ ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා.” 

එළඹෙන සැප්තැම්බර් 30 වනදා මුල්තාන් හිදී ආරම්භ වන පාකිස්තාන ජාතික විස්සයි විස්ස තරගාවලිය උමාර් ගුල්ගේ අවසන් තරගාවලිය වනු ඇත. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

උමාර් ගුල් ද තමන් ජාත්‍යන්තර සහ දේශීය ක්‍රිකට් පිටියට සමුදෙන බව මාධ්‍ය වෙත තහවුරු කර තිබිනි. කෙසේවෙතත් ඔහු සිය නිල නිවේදනය එළඹෙන ජාතික විස්සයි විස්ස තරගාවලිය අතරතුර හෝ අවසන් වීමෙන් පසුව ලබාදෙනු ඇතැයි බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිනි. 

2016 වසරෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ උමාර් ගුල් ක්‍රීඩා කර තිබුනේ නැත. 2013 – 2015 කාලය ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ උච්ඡතම වසර කිහිපය ලෙස හැඳින්විය හැක. කලක් ලෝක විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාව තුළ හොඳම පන්දු යවන්නෙකු ලෙස උමාර් ගුල් සිය නාමය සටහන් කළේය. 

පාකිස්තාන ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 47ක්, එක්දින තරග 130ක් සහ විස්සයි විස්ස තරග 60ක් ක්‍රීඩා කිරීමට උමාර් ගුල් සමත් විය. 

2003 වසරේ දී පාකිස්තාන ජාතික කණ්ඩායමට ඇතුළත් වන උමාර් ගුල්, 2016 වසර වන තෙක් පාකිස්තාන කණ්ඩායමේ නිත්‍ය වේගපන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කළේය. පාකිස්තානය වෙනුවෙන් විස්සයි විස්ස තරග තුළ දෙවන වැඩිම කඩුලු ලාභියා බවට පත්වීමට උමාර් ගුල් සමත් විය. ඔහු විස්සයි විස්ස තරග තුළදී බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 85කි. පාකිස්තානය වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා වන්නේ ෂහිඩ් අෆ්රිඩි ය. ඔහු බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 97කි. 

සිය සමුගැනීම පිළිබඳව අදහස් දක්වමින් උමාර් ගුල් පවසා සිටියේ පුහුණුකරුවෙකු ලෙස නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන බවයි. 

ඉම්රාන් ෆර්හත් පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 2400ක් සහ එක්දින ලකුණු 1719ක් වාර්තා කරගෙන ඇති අතර උමාර් ගුල් ටෙස්ට් කඩුලු 163ක්, එක්දින කඩුලු 179ක් සහ විස්සයි විස්ස කඩුලු 85 ක් දවා ගෙන තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<