නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාව වන්නේ, 20 හැවිරිදි ඩිල්ෂි කුමාරසිංහ ය. ශ්‍රී ලාංකීය මලල කෙළිබිමේ දිනූ පදක්කම් අස්වැන්න වෙනුවෙන් රන් පදක්කම් තුනක් දායාද කළ ඇය ගැන ThePapare.com තබන සටහනකි මේ.

අන්තිමයා වී පැමිණ රන් දිනූ ආදේශිකාව “නිලානි”

නිලානි රත්නායක මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට …….

නීල හරිත වන වියනකින් වටවුණු නකල්ස් රක්ෂිතය පාමුල ගිමන් හරින දිගන, ඩිල්ෂිගේ ගම් පළාත. ඇය මුලින්ම පාසල් යන්නේ දිගන, රජවැල්ල ධර්මාශෝක කනිෂ්ඨ විද්‍යාලයට. මහනුවර මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පාසල් 45 අතරින් අඩු පහසුකම් සහිත පාසලක් ලෙසින් මෙය වර්ගීකරණයට ලක්ව තිබුණා. ඩිල්ෂි තමන්ගෙ ක්‍රීඩා දිවිය ආරම්භ කරන්නේ එතැනින්. 

ක්‍රීඩා කටයුතු කෙසේ වෙතත්, ඩිල්ෂිලාට හරියට අධ්‍යාපන කටයුතු කරගන්නවත් මේ පාසලේ පහසුකම් තිබුණේ නැහැ. එහෙත් ඩිල්ෂි වගේම තවත් ළමුන් රාශියකගේ හොඳම පාසල බවට එය පත්ව තිබුණා. ඒ ඔවුන්ට වෙනත් පාසලක් කරා යෑමට තරම් වත්කමක් හෝ පහසුකමක් නොතිබූ නිසා. 

අඩු-පාඩු කොතෙක් තිබුනත් ඩිල්ෂි ඇතුළු කිහිප දෙනෙක් පාසලේ ක්‍රීඩා කටයුතුවලට සහභාගී වුනා. පාසලේ ගුරු මණ්ඩලයේ කිහිප දෙනෙක් ද හැකි අයුරින් ඔවුන්ට සහයෝගය ලබා දුන්නා. 

මෙසේ කාලය ගත කරද්දී ඩිල්ෂි වත්තේගම අධ්‍යාපන කලාප මලල ක්‍රීඩා තරග සඳහා සුදුසුකම් ලබා ගන්නවා. එතකොට ඇය සහභාගී වූයේ වයස අවුරුදු 15න් පහළ කාණ්ඩය යටතේ. වයස අවුරුදු 14ක් වූ ඇය නුවර සුපිරි පාසල් ක්‍රීඩිකාවන් සමඟ කරට කර තරගයක් දෙමින් තම ඉසව්වලට සහභාගී වුනා. නමුත් ඇයට සැලකිය යුතු මට්ටමේ ජයග්‍රාහී ස්ථානයක් ඒ කිසිදු තරගයකින් ලැබුණේ නැහැ. 

“මම පළමු වරට ඩිල්ෂි දැක්කෙ එම තරගාවලියේ දී. ඇයට හොඳ රිද්මයක් තිබුණා. තරග නිමා කාලය නම් සැලකිය යුතු මට්ටමේ තිබුණේ නැහැ. නමුත් ඇයගේ රිද්මයත්, තරගයට අවතීර්ණ වීමත්, තරගය පුරා ගෙන ගිය ජවයත් සහ හොඳ මලල ක්‍රීඩිකාවක් සතු විය යුතු ගුණා-ගුණත් ඇය සතුව තිබුණා.“ ඩිල්ෂිගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා ThePapare.com සමග පැවැසුවා. 

සුසන්ත ප්‍රනාන්දු යනු වත්තේගම අධ්‍යාපන කලාපයේ ශාරීරික අධ්‍යාපන සහ ක්‍රීඩා විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මෙන්ම වලල ඒ. රත්නායක විද්‍යාලයේ මලල ක්‍රීඩා පුහුණුකරු. මෙරට මලල කෙළිබිමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රාශියක් දායාද කළ ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවෙක්. ඩිල්ෂිට ඔහුගේ අවධානය දිනා ගැනීමට හැකි වීම, කලාප තරගවලින් ලැබූ පරාජය ආශීර්වාදයක් කර ගැනීමට තරම් හේතු වෙනවා.

රජවැල්ල කනිෂ්ඨයෙන් ඩිල්ෂිට, වලල ඒ. රත්නායකයට උසස් වීමක් ලැබෙනවා. ඒ සුසන්ත ප්‍රනාන්දු මහතාගේ මැදිහත් වීම අනුව. යලට මහට වගේම කිසිදු ප්‍රමිතියකින් තොරව ඔහේ ගලා ගිය ඩිල්ෂිගේ මලල ක්‍රීඩා දිවියට නිවැරදි ඉලක්කයක් ලැබෙන්නේ වලලෙන්. ඇය සුසන්ත ප්‍රනාන්දු මහතා යටතේ මීටර් 400 සහ මීටර් 800 ඉසව්වන් ප්‍රගුණ කරනවා. 

එසේ ඇරඹි ඩිල්ෂිගේ මලල ක්‍රීඩා ගමන් මගේ දෙස් විදෙස් ජයග්‍රහණ කිහිපයක්ම වෙනවා. ඒ දක්ෂතා සහ තේරීම් තරගවල දී පෑ දක්ෂතා හේතුවෙන් ඩිල්ෂි මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගන්නවා. ඇය තම ඉසව්ව අවසන් කරන්නේ රනින් තම මව්බිම සරසාලමින්. ඒ සඳහා විනාඩි 2:06.18ක කාලයක් ඇය ගත කරනවා. එය ඇයගේ මෙම ඉසව්වේ හොඳම කාලය ද වෙනවා. 

මීටර් 800 ඉසව්ව ජයග්‍රහණයට ආසන්නව

ඩිල්ෂි තම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්ත ද එය එතරම්ම කතාබහට ලක් වෙන්නේ නැහැ. නමුත් ඇය දිනූ පදක්කමේ කිසිදු අගයක අඩු වීමක් ද නැහැ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ ළාබාලතම ක්‍රීඩිකාව ලෙසින් ඇය ලත් ජයග්‍රහණය බොහෝ දෙනෙක්ගේ ඇගයීමට ලක්වුණා. ඒ ඇගයීම ඇය ඉතා නිහතමානීව පිළිගත්තා. 

මේ අතර ඇයත් සමඟ කත්මණ්ඩු නුවරට පැමිණි බොහෝ දෙනෙක් උණ රෝගයෙන් පෙළීම ඔවුන්ට සේ ම නිලධාරීන්ගේ ද බලවත් කැලඹීමට හේතු වී තිබුණා. එසේ උණ රෝගයෙන් පෙළුණ රෝගීන් අතර මීටර් 200, මීටර් 400 සහ මීටර් 400×4 යන ඉසව් නියෝජනය කිරීමට පැමිණි නදීෂා රාමනායක ද වුනා. 

SAG – ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු කිහිපයක් රෝහල්ගත කෙරේ

මීටර් 200, මීටර් 400 සහ මීටර් 400×4 යන ඉසව් නියෝජනය කරමින්………

කණ්ඩායමේ සිටි ප්‍රබල ක්‍රීඩිකාවක් වූ ඇය තමන් සහභාගී වන ඉසව්වන්ගෙන් රන් පදක්කම් දිනා දෙතැයි යන අපේක්ෂාව බොහෝ දෙනෙක් තුළ තිබුණා. නමුත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය එන්න එන්නම අසාධ්‍ය වූවා මිස යහපත් තත්ත්වයට පත් වූයේ නැහැ. 

අවසන් මොහොතේ දී නදීෂා වෙනුවෙන් මීටර් 400 සහ මීටර් 400×4 ඉසව් නියෝජනය කිරීමට බලධාරීන්ගේ විශ්වාසය තැබෙන්නේ ඩිල්ෂි වෙත. ඇය ද කිසිදු පැකිළීමකින් තොරව ඒ අභියෝගය බාර ගන්නවා. එපමණක් නොවේ ඇය ඊට සාධාරණයක් ඉටු කිරීමට සමත් වෙන්නේ එම ඉසව් දෙකේම රන් පදක්කම් දිනා දෙමින්.  

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වේ ජය කෙහෙළි නැංවූ දමයන්ති දර්ශා 1999 දී මිනිත්තු 52.11ක කාලයකින් නිමා කළ තරග කාලය මෙතෙක් SAG තරගාවලියේ වාර්තාව ලෙසින් පවතිනවා. ඩිල්ෂි අහම්බෙන් සහභාගී වූ මෙම ඉසව්ව නිමා කරන්නේ මිනිත්තු 53.40ක කාලයකින්. එය ඉතා හොඳ තරග නිමා කාලයක් ලෙසයි හැඳින්වුණේ. 

 

අනතුරුව ඇය සහභාගී වූයේ මීටර් 4×400 සහාය දිවීමේ ඉසව්වට. එය බොහෝ දෙනෙක් හැඳින්වූයේ ලොමු ඩැහැගන්වන අවසානයක් උරුම කර දුන් තරගයක් ලෙසයි. ඇයත් සමග ඔමායා උදයංගනි, ගයන්තිකා අබේරත්න සහ කෞෂල්‍යා මධුෂානි එම සහය දිවීමේ කණ්ඩායමේ සාමාජිකාවන් වුණා. 

ඒ තීරණාත්මක තරගය ThePapare.com වාර්තා කර තිබුණේ මෙසේයි. 

“ඉසව්ව ආරම්භ කළ ඔමායා පළමු යෂ්ටි හුමාරුවේ දී ගයන්තිකාට යෂ්ටිය ලබා දුන්නේ තරමක පසුබෑමක් සහිතවයි. ගයන්තිකා ධාවන පටන් ගන්නා විටත් ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩිකාවන් ධාවනය ආරම්භ කර තිබූ අතර ඔවුන් දෙදෙනා පසුපස වේගයෙන් දිව ගිය ගයන්තිකා දෙවැනි යෂ්ටි හුවමාරුවේ දී පරතරය තරමක් අවම කරන්නට සමත් වූවාය. 

ගයන්තිකා ගෙන ආ යෂ්ටිය  කෞෂල්‍යා ලක්මාලි විසින් ලබා ගත් අතර පාදයේ ආබාධයක් සහිතව වුවත් ඇය සාර්ථකව ඉදිරියෙන් ඇදුණු ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩිකාවන්ට අභියෝග කරමින් යෂ්ටිය ඩිල්ෂිට ලබා දුන්නේ ඩිල්ෂි තෙවැන්නා ලෙස අවසන් වටය ආරම්භ කරමිනි. 

තරගය නැරඹූ සියලු ශ්‍රී ලාංකිකයන් රන් පදක්කම් බලාපොරොත්තු අතහැර සිටි මොහොතක ඩිල්ෂි ජයග්‍රාහී රේඛාව පෙනෙන මානයේ දී ඉන්දීය සහ පාකිස්තාන ක්‍රීඩිකාවන් පසුකර යමින් දුරින් තිබූ රන් පදක්කම් සිහිනයක් යථාර්ථයක් කරන්නට සමත් වූයේ ලොමු ඩැහැගන්වන අවසානයක් සනිටුහන් කරමිනි. තරග නිමි කාලය දැක්වුනේ මිනිත්තු 03:41.10කි.”

ලොමු ඩැහැගැන්වූ අවසන් තරගයක් සමඟින් ශ්‍රී ලංකාවට රන් 15ක්

දෙසැම්බර් මස 01 සිට 10 දක්වා පැවැත්වෙන 13 …….

එතැන් සිට මේ “දිගන පොඩි නංගි” කා අතරත් කතා බහට ලක් වූ චරිතයක් බවට පත් වුණා. මීට පෙර පැවති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී නව කනිෂ්ඨ ශ්‍රී ලංකා වාර්තා දෙකක් ද සමඟින් පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් වූ ඩිල්ෂීගේ ඊට පසුව පෑ ඉහළම දක්ෂතාව ලෙසින් මෙය සටහන් වෙනවා. 

දිගනෙන්, වලලට පැමිණෙද්දී ගෙනා දක්ෂතා සුසන්ත ප්‍රනාන්දු නමැති ගුරුවරයා යටතේ දී සේ ම ඩී. ඒ. ඉනෝකා නමැති ගුරුවරිය යටතේ ද ඔපමට්ටම් කරන ගන්නා ඩිල්ෂි මලල ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයත් දක්වන්නේ එකසේ දක්ෂතාවක්. ඇය නිමා වූ අධ්‍යාපන පොදු සහතිකපත් උසස් පෙළ විභාගයේ දී A සාමාර්ථයක්, B සාමාර්ථ දෙකක් සහ C සාමාර්ථයක් සමඟින් ප්‍රතිඵල ලබා ගන්නවා. 

එය සුළු කර්මාන්ත ශාලාවක කම්කරුවෙක් ලෙසින් සේවය කරන ඩිල්ෂිගේ පියාට සේ ම ඇඟළුම් කම්හලක සේවය කරන මවටත් විශාල ගෞරවයක්. පවුලේ එකම දරුවා වූ ඩිල්ෂි වෙනුවෙන් විඳි දුක්-ගැහැටවලට පෙරළා ලැබුණ සුව ප්‍රතිකාරයක් ලෙසිනුයි ඔවුන් එය සැලකුවේ. 

සැලකිය යුතු මට්ටමේ අධ්‍යාපනයක් ලබන්නට තරම් වත්කමක් හෝ දැනමුතුකමක් එකල ඔවුන්ට නොමැති වූව ද ඔවුන්ගේ කුටුම්භයට ඩිල්ෂි එක් වූ දා සිට සිතුවේ ඇය අධ්‍යාපනයේ හිනිපෙත්තට යොමු කිරීමටයි. දිනෙන් දින වැඩෙන ඩිල්ෂි වෙතින් ඔවුන් දුටුවේ ගුරුවරියකගේ සිහිනයක්. මේ නිසාම ඩිල්ෂිගේ හිතේ ද කුඩා කළ සිටම පැවතියේ ගුරුවරියක් වීමේ සිහිනය. එහෙත් ඒ සිහිනයත් සමඟින්ම දක්ෂ මලල ක්‍රීඩිකාවක වීමේ සිහිනය ද ඇයගේ හිත කොනක දළුලෑවා.

අද වන විට ඇය මේ සිහින දෙකෙන් එකක් සැබෑ කරගෙන සිටිනවා. ඇය මලල ක්‍රීඩාවේ දකුණු ආසියානු රන් දිනූ විශිෂ්ට ක්‍රීඩිකාවක්. එක් පදක්කමක් නොවේ, පදක්කම් තුනකම හිමිකාරිනියක්. ඒ හිමිකාරීත්වයේ අගය තවත් වැඩි වෙන්නේ ළාබාලතම ක්‍රීඩිකාවක් ලෙසත්, ලැබූ පදක්කම් දෙකක්ම ආදේශක ක්‍රීඩිකාවක් ලෙසින් සහභාගී වී ලබා ගැනීමත් නිසායි. 

ඇයගේ අනෙක් අපේක්ෂාවේ ද අවසන් කඩඉමට ඇය ළඟා වී සිටියත් එය ලකුණු කිහිපයක් අඩු වීමෙන් මදක් පමා වෙනවා. මෙවර SAG තරගාවලියට සහභාගී වෙන වකවානුවේ අධ්‍යාපන පොදු සහතික පත් විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා සහභාගී වීමට සිටියත් ඇයට එය අහිමි වෙනවා. මේ නිසා ඇයට මේ පමාව තවත් අවුරුද්දක් දක්වාම දිගු කිරීමට සිදුවෙනවා. 

නමුත් පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ එය ඉතා දිගු කාලයක් ලෙසින් ඩිල්ෂිලාගේ කුටුම්භයට දැනීම අරුමයක් නොවේ. පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතාගේ මැදිහත් වීම මැද මේ අපහසුතාවයන්ගෙන් මිදීම උදෙසා ඇය කෙටි කාලයකට සේවය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව තෝරා ගන්නවා. සියලු පහසුකම් යටතේ අද ඇය තම පුහුණුවීම් කටයුතු සිදු කරන්නේ යුද හමුදා මලල ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසින්. 

දකුණු ආසියානු කෙළිබිමේ දී ශ්‍රී ලාංකාව රනින් බැබළ වූ ඩිල්ෂි වැන්නන් අපේ කෙළිබිමෙන් මතු වෙන්නේ ඉතා කලාතුරකිනි. තමන්ගේ නොවන ඉසව්වක් තමන්ගේ කරගෙන ඉන් නොනැවතී එය ජයග්‍රහණය කරා මෙහෙයවයි නම් ඒ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සුවිශේෂීය. ඔවුන් රැක බලාගත යුතුය. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් මෙරට කෙළිබිමේ ස්ථාපනය කළ යුතුය. 

ඩිල්ෂි කුමාරසිංහ ද එසේ රැක බලාගත යුතු ක්‍රීඩිකාවකි. දකුණු ආසියානු කලාපයෙන් ඔබ්බට ද ඇයගේ දක්ෂතා විසිර, පැතිරවීමට ඇයට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ThePapare.com අප ප්‍රාර්ථනා කරමු. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<