විශ්ව ප්‍රනාන්දු එංගලන්තයට

County Championship 2023

632

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන Durham කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

ඒ අනුව ඔහු LV=Insurance County Championship තරගාවලියේ Worcestershire කණ්ඩායමට එරෙහි තරගයට පෙර කණ්ඩායම සමඟ එක් වීමට නියමිත අතර ඔහු තරගාවලියේ අනෙක් තරග දෙක සඳහා ද කණ්ඩායම නියෝජනය කරනවා.

Matthew Potts සහ Brydon Carse එංගලන්ත කණ්ඩායමට කැඳවීම නිසා Durham කණ්ඩායමේ වේගපන්දු බළඇණිය සවිමත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු කණ්ඩායමට එක් කර ගැනීමට Durham බලධාරීන් ඉතා ඉක්මනින් කටයුතු කළා.

ඔහු තරගාවලියේ අවසන් තරග තුන සඳහා කණ්ඩායම නියෝජනය කිරීමට සැලසුම වී තිබෙන අතර වීසා ලබා ගැනීමේ දී ඇති වූ යම් ප්‍රමාදයක් නිසා ඔහු කණ්ඩායම සමඟ එක් වීම මදක් පමා වූ බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දක්වන විශ්ව තරග 20ක් ක්‍රීඩා කර කඩුලු 50ක් දවා ගැනීමට සමත්ව තිබෙන අතර 2021 දකුණු අප්‍රිකා සංචාරයේ දී ලකුණු 101ක් තුළ කඩුලු 5ක් දවා ගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වෙනවා.

2016 වසරේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි විශ්ව අවසන් වරට පාකිස්තානය සමඟ මෙම වසරේ පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කළා.

එමෙන්ම 2012 වසරේ සිට පළමු පෙළ පිටියේ කැපී පෙනෙන දස්කම් දක්වන ඔහු තරග 99ක් ක්‍රීඩා කරමින් කඩුලු 264ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

විශ්ව ප්‍රනාන්දු සිය කණ්ඩායමට එක් කර ගැනීම පිළිබඳ අදහස් දක්වමින් Durham කණ්ඩායමේ අධ්‍යක්ෂක Marcus North ප්‍රකාශ කළේ,

“අපි Durham වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දුව ඉතා සාදරයෙන් පිළිගන්නවා. Matthew Potts සහ Brydon Carse එංගලන්ත කණ්ඩායමට එක් වීම නිසා අපිට ඉතා හොඳ විදෙස් වේග පන්දු යවන්නෙක් අවශ්‍ය වුනා මෙවර තරග වාරය ශක්තිමත් ලෙස අවසන් කරන්න.

ඔහු ටෙස්ට් සහ පළමු පෙළ පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් නිසා ඔහු සැප්තැම්බර් මස Durham කණ්ඩායමට රැගෙන එන්න පුළුවන් දේ ගැන අපි අවධානයෙන් ඉන්නවා.”

එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන Durham සමඟ එක්වීම පිළිබඳ අදහස් දක්වමින් විශ්ව ප්‍රනාන්දු ප්‍රකාශ කළේ,

“මම Durham සමඟ ඉක්මනින් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා වගේම එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය ක්‍රීඩා කරන්න ලැබෙන එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතා ඉක්මනින් නව කණ්ඩායම් සඟයන් හමුවෙන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නේ.”

මෙවර තරග වාරය සඳහා එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් සඳහා එක් වූ දෙවැනි ක්‍රීඩකයා විශ්ව වන අතර ඔහුට පෙර අසිත ප්‍රනාන්දු Nottinghamshire කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වුනා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<