කෲස්පුල්ලේගෙන් සුපිරි ප්‍රහාරයක්

වෙළඳසේවා සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරගාවලිය 2022

475

වෙළඳසේවා සුපර් ප්‍රිමියර් විස්සයි විස්ස තරගාවලිය අද (18) ආරම්භ වුනා. එහි දී පැවති එක් තරගයක් අයහපත් කාලගුණ තත්වය නිසා අත්හැර දැමීමට සිදු වූවත්, පැවති තරගයේ දී HNB පරාජය කරමින් ලකුණු 40ක ජයක් වාර්තා කිරීමට Hayleys සමත් වුනා.

කොළඹ වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනු මේ තරග දිනයේ ආරම්භක තරගය John Keells Group (A) සහ Mode Engineering අතර පැවැත්වීමට නියමිතව තිබුණා. නමුත් පැවති අයහපත් කාලගුණ තත්වය නිසා එම තරගය අත්හැර දැමීමට සිදු වුනු අතර දිනයේ දෙවැනි තරගයේ ඉනිමක් පන්දුවාර 14කට සීමා කරමින් පැවැත්වීමට හැකි වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් HNB ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් Hayleys වෙනුවෙන් ආරම්භක දකුණත් පිතිකරු ලසිත් කෲස්පුල්ලේ සුපිරි පිතිකරණයක නිරත වෙමින් පන්දු 30ක් තුළ වේගවත් ලකුණු 71ක් රැස් කරගත්තා.

ඔහුගේ එම ප්‍රවේගකාරී ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 7ක් ඇතුළත් වුනා. අවසානයේ දී ඔවුන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 166ක් වාර්තා කරගන්නට සමත් වුනා.

පන්දු යැවීමේ දී දඟපන්දු යවන මාධව වර්ණපුර සහ සඳුන් වීරක්කොඩි පිළිවෙළින් ලකුණු 13කට කඩුලු 4ක් සහ ලකුණු 20කට කඩුලු 2ක් දවා ගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 167ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු HNB කණ්ඩායමට නියමිත පන්දුවාර 14 අවසානයේ දී කඩුලු 9ක් දැවී රැස් කරගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 126ක් පමණයි.

පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන කලණ පෙරේරා ලකුණු 19කට කඩුලු 3ක් දවා ගන්නා විට ලහිරු සමරකෝන් කඩුලු 2ක් දවා ගනිමින් තරගාවලියේ Hayleys මුහුණ දුන් පළමු තරගයේ දී ම ජය තහවුරු කළා.

Hayleys Group (A) – 166/9 (14): ලසිත් කෲස්පුල්ලේ 71, ටී. එම්. සම්පත් 26, රොන් චන්ද්‍රගුප්ත 24, මාධව වර්ණපුර 4/13, සඳුන් වීරක්කොඩි 2/20.

HNB (A) – 126/9 (14): කසුන් අබේරත්න 22, සඳුන් වීරක්කොඩි 20, කලන පෙරේරා 3/19, ලහිරු සමරකෝන් 2/24.

Hayleys (A) කණ්ඩායමට ලකුණු 40ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<