රාජකීය – සාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයට හැඳින්වීමක් සැපයීම නිෂ්ඵල ක්‍රියාවකි. ඒ මන්ද යත්, වසර 138ක කීර්තිමත් ඉතිහාසය සහ සම්ප්‍රදායන් තුළ ‘නිල් මහා සටන’ ක්‍රිකට් කරළියට එකතු කර තිබෙන අමතක නොවන අත්දැකීම් ගොන්න මේ මහා ක්‍රිකට් ගැටුමේ විශිෂ්ටත්වය කියා පෑමට ප්‍රමාණවත් වන බැවිනි.

නාලන්දාව ජයග්‍රහණයට මාන බලද්දී, මහා තරගයේ වැඩි වාසි ආනන්දයට

මේ වසරේ සුලෝහිත සංග්‍රාමයට පිවිසෙන ආනන්ද කණ්ඩායම නාමිකව ගත් කල වඩාත් ප්‍රබල කණ්ඩායමයි. මෙවර තරග වාරය තුල තරමක් රළු ගමනක යෙදුණු නාලන්ද…

නිල් මහා සටනේ 137 වන අදියර ක්‍රියාදාම චිත්‍රපටයක් බඳු විය. රශ්මික ඕපාත සහ පසිඳු සූරියබණ්ඩාර වාර්තා කල අගනා ශතක දෙකක සිට තරග ජයග්‍රහණයට පාර කැපූ සටන්කාමී හිමේෂ් රාමනායකගේ විශිෂ්ට පන්දු යැවීම දක්වා සියලුම ආකාරයේ සිදුවීම් වලින් අනතුරුව තරගයේ ජයග්‍රණය තහවුරු කර ගන්නට රාජකීය කණ්ඩායම සමත් වුනේ නිල් මහා සටනට කිසිවෙකු බලාපොරොත්තු නොවූ අවසානයක් සටහන් කරමිනුයි.

වසරකට පසු තත්ත්වය.

138 වන මහා ක්‍රිකට් ගැටුමට සූදානම් වන විට පෙර වසරේ පැවති තත්ත්වය එතරම් වෙනසකට භාජනය වී නොමැත. සාන්ත තෝමස් විද්‍යාලය මෙවර අන්තර් පාසල් තරග වාරයේ දැක්වූ විශිෂ්ට දස්කම් පදනම් කරගෙන මහා ක්‍රිකට් තරගයට පිවිසෙන්නේ ඉහල මානසික ශක්තියක් සහ තරග ජයග්‍රහණයට වැඩි අවස්ථාවක් සහිත කණ්ඩායම ලෙස ඇලවුණු ලේබලයක් ද සමඟයි. රාජකීය කණ්ඩායම මෙවර තරග වාරයේ දැක්වූ දක්ෂතා මගින් පෙනී යන්නේ ඔවුන් තරමක පසු බැසීමකට ලක්ව සිටින බවයි. සාන්ත තෝමස් කණ්ඩායම මෙවර තරග වාරය තුල පූර්ණ ජයග්‍රහණ 5ක් වාර්තා කර තිබුනත් රාජකීයයන් එකදු තරගයක හෝ පූර්ණ ජයක් ලබන්නට සමත් වී නොමැත.

සාන්ත තෝමස් මුල් පෙළට එරෙහිව රාජකීය පන්දු බල ඇණිය

ගල්කිස්ස ‘මුහුද අසබඩ පාසලේ’ මේ වසරේ ලකුණු ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින්නේ වේගවත් දකුණත් පිතිකරු රවිඳු කොඩිතුවක්කුයි. ඔහු නැවතත් සාන්ත තෝමස් පිතිකරණයේ නියමුවා වීමට බලාපොරොත්තුවෙන් සිටිද්දී මලින්ත විජේරත්න, දිනුර ගුණවර්ධන සහ නායක රොමේෂ් නල්ලපෙරුම ද කණ්ඩායමේ පිතිකරණ බල ඇණිය සවිමත් කරන සෙබළුන් වේ. මේ අතර සාන්ත තෝමස් පිතිකරණ ශක්තිය මැඩපැවැත්වීමට සූදානම් වන රාජකීය කණ්ඩායමේ ප්‍රධාන අවිය වන්නේ වේග පන්දු යවන ක්‍රීඩක හිමේෂ් රාමනායකයි. ගනිත් සංදීප සහ නායක හේලිත විතානගේ ද පන්දු යැවීමේ දක්ෂයන් වන අතර මේ වසර තුල මුහුණ පා සිටින කඩුලු නියඟය අවසන් කරන්නට මහා ක්‍රිකට් තරගයේ දී ඔවුන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වනු ඇත.

නායකයන්ගේ සටන

හේලිත මෙන්ම රොමේෂ් ද තම කණ්ඩායම් වල ප්‍රධාන චරිත වලට පණ පොවන ක්‍රීඩකයන් වෙයි. හේලිත, තමන්ගේ තුන් ඉරියව් දක්ෂතා රාජකීය විද්‍යාලයට සවියක් බවට පත් කිරීමේ සූදානමින් පසු වන අතර ලකුණු 1000 සීමාව පසු කරමින් රාජකීය විද්‍යාලයේ වැඩිම ලකුණු ලාභියා ද වන ඔහුගේ දායකත්වය කණ්ඩායමේ පිතිකරණ කේන්ද්‍රස්ථානය වනු ඇත.

අනෙක් අන්තයේ නායක රොමේෂ් සාන්ත තෝමස් පිතිකරණ ලැයිස්තුවේ මැද පෙළ ස්ථාවරත්වය ගොඩ නැගීමේ බල කණුව වී තිබෙන්නේ තම කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක ඉනිම කිහිපයක්ම වාර්තා කරමිනුයි. 35.89ක සාමාන්‍යයක් සහිතව ඔහු වාර්තා කර ඇති ලකුණු 646ක එකතුව ඔහුගේ හැකියාව පිළිබඳ හොඳම සාක්ෂියයි.

පවිත්ගේ මායා බලය

සාන්ත තෝමස් විද්‍යාලයේ පන්දු යැවීමේ සවිය පිළිබඳ සලකා බැලීමේ දී කඩුලු ශතකයකට පියවර 6ක් පමණක් පසුපසින් සිටින පවිත් රත්නායක පිළිබඳව පමණක් සඳහන් කිරීම සෑහෙයි. පවිත්ගේ උපක්‍රමශීලී වමත් දඟ පන්දු හමුවේ බිඳ වැටුණු කඩුලු 94 තුල ඉනිමක දී කඩුලු 5ක් දවා ගත් අවස්ථා 8ක් ද ඇතුළත් වෙයි. තමන් පන්දු යැවූ බොහෝ තණතිලි වල ඉපිලීම සහ දඟ කැවීම ජනිත කරන්නට සමත් වූ පවිත් SSC තණතීරුව මතදීත් තම ඉන්ද්‍රජාලික හැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ හැකියාව ඇති ක්‍රීඩකයෙකි.

කවිඳුගේ සැඟවුණු හැකියාව

එතරම් සාර්ථක නොවූ තරග වාරයක් තුල දී වුවත් රාජකීය කණ්ඩායමේ බැබළෙන තරුවක් දර්ශනය වූයේ නම් ඒ කවිඳු මදුරසිංහයි. කඩුලු 90 සීමාව පසු කරමින් දස්කම් අතර සිටින ඔහු පිළිබඳ සාන්ත තෝමස් පිතිකරුවන්ගේ ප්‍රබල අවධානයක් යොමු වනු ඇත.

කණ්ඩායම්

රාජකීය විද්‍යාලය  – පසිඳු සූරියබණ්ඩාර, රෝනුක ජයවර්ධන,තෙවින්ද සේනාරත්න, අශාන් වික්‍රමසිංහ, හේලිත විතානගේ, කවිඳු මදුරසිංහ, ගනිත් සංදීප, හිමේෂ් රාමනායක, අභිෂේක් පෙරේරා, මනුල පෙරේරා, යුවින් හේරත්.

සාන්ත තෝමස් විද්‍යාලය  – රවිඳු කොඩිතුවක්කු, දිනුර ගුණවර්ධන, ඉශේන් පෙරේරා, සිතිර හපුහින්න, දුලිත් ගුණරත්න, මන්තිල විජේරත්න, රොමේෂ් නල්ලපෙරුම, ඩෙලන් පීරිස්, පවිත් රත්නායක, තෙවින් ඊරියගම, කලණ පෙරේරා.

සාරාංශය

නිල් මහා සටන් ඉතිහාසයේ ජය පැරදුම් දෙස හැරී බලන කල්හි තරග 35 – 34ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ රාජකීය විද්‍යාලයයි. එබැවින් මෙවර 138 වන මහා තරගය ජයගෙන මෙම වාර්තාව සම තත්ත්වයට ගෙන ඒම සාන්ත තෝමස් විද්‍යාලයේ ඒකායන අරමුණ වනු ඇති.

බලාපොරොත්තු විය නොහැකි සිදුවීම් බලාපොරොත්තු වන්න, ගිනිකෙළි සහ නව තරු පිබිදීම් අතර වසර 100කට අධික එදිරිවාදීකම් සැමරෙන ක්‍රිකට් තරගයක් ආරම්භ කිරීමට සියල්ල සූදානම්ව තිබේ. සියල් සිරි විභූතියෙන් සහ උත්සවශ්‍රීයෙන් කොළඹ නගරයම ඇලලෙද්දී අවසන් ප්‍රතිඵලය පිටියේ සිටින ක්‍රීඩකයන් විසි දෙදෙනා අතර දෝලනය වනු ඇති. වසරේ පාසල් ක්‍රිකට් උත්කර්ෂය SSC ක්‍රීඩාංගණය දෙවනත් කරන අතරතුර ඒ සියලු සිදුවීම් එලෙසින්ම සජීවීව ඔබට සමීප කරන්නට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්.

WATCH THE 138th Battle of the Blues LIVE