ප්‍රථම දිනය නිමාවන විට කෝල්ට්ස් ක්‍රීඩකයින් පෙරමුණේ

535
2016 SLC Premiere League

දේශීය ක්‍රිකට් පිටියේ සැඟවුණු දක්ෂයින් ජාත්‍යන්තරය කරා රැගෙන යාමේ අරමුණින් පැවැත්වෙන ප්‍රිමියර් ලීග් තරග වාරයේ, කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ මූවර්ස් ක්‍රීඩා සමාජය අතර තෙදින ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) කොළඹ දී ආරම්භ විය.

පසුගිය ලිපි: SLC ප්‍රීමියර් ලීග් තරඟාවලිය සතියකින් කල් යයි

අද උදෑසන කාසියේ වාසිය දිනාගත් මූවර්ස් නායක කෝසල කුලසේකරගේ ඇරයුමට අනුව පිටියට පිවිසි කෝල්ට්ස් පිතිකරුවෝ ප්‍රථම දිනය නිමාවන විට කඩුලු 6ක් දැවී ලකුණු 318ක් රැස් කළහ. ඒ අනුව ප්‍රථම දිනය තුලදී සාර්ථක පිතිහරඹයක් දියත් කල සත්කාරක කෝල්ට්ස් ක්‍රිකට් සමාජය මේ වන විට තරගයේ පෙරමුණ ගන්නට සමත්ව සිටියි.

අද කෝල්ට්ස් ඉනිම ආරම්භ කිරීමේ වගකීම යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට හිමිව තිබුනත් ඔහුගේ බලාපොරොත්තු ඉක්මනින්ම බොඳ කරන්නට ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක තිලාන් තුෂාර සමත් විය. ඒ වන විට අවිශ්ක රැස් කරගෙන සිටියේ ලකුණු 5ක් පමණි. නමුත් අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් වමත් පිතිකරු කාංචන ගුණවර්ධන කෝල්ට්ස් ඉනිම ස්ථාවර කරමින් හතරේ පහර 14ක් සමගින් ලකුණු 74ක් රැස් කිරීමට සමත් විය. ඔහු ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට් බලාපොරොත්තුවක් වන හෂාන් දුමිඳු සමගින් දෙවැනි කඩුල්ල සඳහා ශතක සබඳතාවයක් එක් කලේය. හෂාන් ලකුණු 39ක් ලබා සිටියදී මුවර්ස් නායකයාගේ පන්දුවක් හමුවේ දැවී ගියේ උමේශ්ක මොරායස් අතට උඩපන්දුවක් ලබා දෙමිනි.

ඉන් අනතුරුව පිටියේ එක්වුනු ඇන්ජලෝ ජයසිංහ සහ දිල්රුවන් පෙරේරා කෝල්ට්ස් මැදපෙළ ශක්තිය විදහා දක්වමින් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 130ක් එක් කිරීමට සමත්වූහ. ජයසිංහ හතරේ පහර 8ක් සමගින් ලකුණු 72යි. කෝල්ට්ස් නායක දිල්රුවන් පෙරේරා මූවර්ස් පන්දු යවන්නන් නිරුත්තර කරමින් හතරේ පහර 6ක් සහ අලංකාර හයේ පහර 5ක් සමඟ ලකුණු 80ක් රැස් කරන ලදී. පිටිය සිසාරා රිසිසේ පහර එල්ල කල ඔහු තම ඉනිම සඳහා වැය කලේ පන්දු 95ක් පමණි. පන්දු යැවීමේදී නායක කෝසල කුලසේකර ලකුණු 51ට කඩුලු 2ක් ද, උමේශ්ක මොරායස් ලකුණු 95ට කඩුලු 2ක් ද බිඳ දමන ලදී.

ඒ අනුව අද දිනයේ ක්‍රියාත්මක වූ පන්දුවාර 89 තුලදී කෝල්ට්ස් ක්‍රිකට් සමාජය කඩුලු 6ක් දැවී ලකුණු 318ක් ලබා සිටියි. මේ වන විට කඩුල්ලේ රැඳී සිටින ප්‍රියමාල් පෙරේරා ලකුණු 17ක් ද, නිසල ගමගේ ලකුණු 7ක් ද ලබා සිටියි. මේ වන විටත් කෝල්ට්ස් ක්‍රීඩකයින් ධනාත්මක ලෙස තරගයේ ප්‍රථම දිනය නිමාකර ඇති නිසා තරගය තමන් වෙත හරවා ගැනීමට නම් මූවර්ස් පන්දු යවන්නන් හෙට උදෑසන කාලයේදීම ඉතිරි කෝල්ට්ස් කඩුලු 4ත් ඉක්මනින්ම දවාගත යුතුව ඇත.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – කඩුලු 6ක් දැවී ලකුණු 318 (පන්දුවාර 89): දිල්රුවන් පෙරේරා 80, කාංචන ගුණවර්ධන 74, ඇන්ජලෝ ජයසිංහ 72, හෂාන් දුමිඳු 39, කෝසල කුලසේකර 2/51, උමේෂ්ක මොරායස් 2/95.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට