දිමුත්ගේ වීසා ගැටලුව අවසන්

3884

ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න අද (19) එංගලන්තයට පිටත්ව තිබුණා. ඒ ප්‍රාන්ත ශූරතාවයේ Yorkshire කණ්ඩායම නියෝජනය කිරීමටයි.

දිමුත් මෙම තරගාවලියට සහභාගී වීම සඳහා මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර එංගලන්තය බලා පිටත්ව යෑමට සැලසුම් කර තිබුනත්, වීසා ගැටලුවක් නිසා ඔහුට එංගලන්තයට යෑමට හැකි වුනේ නැහැ.

නමුත් ඔහුට සිය එංගලන්ත වීසා බලපත්‍රය ඊයේ (18) රාත්‍රියේ දී ලැබී ඇති අතර එය ලැබීමෙන් පසුව අද අලුයම් ඔහු දිවයිනෙන් පිටත්ව තිබුණා.

දිමුත් Yorkshire කණ්ඩායම නියෝජනය කරමින් තරග තුනකට සහභාගී වීමට නියමිත අතර ඉන්පසුව බංග්ලාදේශ සංචාරයට සහභාගී වීම සඳහා ඔහු දිවයිනට පැමිණීමට නියමිතයි.

එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය නියෝජනය කිරීමට ලැබීම පිළිබඳව Daily Ft වෙත අදහස් දැක්වූ දිමුත් ප්‍රකාශ කළේ, මෙම තරගාවලිය ක්‍රීඩා කිරීම ඔහුගේ ආශාවක් බවත් Darren Gough ඔහුට ඒ සඳහා ආරාධනා කළ බවයි.

“මෙම ප්‍රාන්ත ශූරතාවය ක්‍රීඩා කිරීමෙන් මට මූල්‍යමය වාසියක් නොලැබුණත් එයට තියෙන කැමැත්ත නිසා මම යනවා. මෙම තරගාවලියෙන් මට මගේ දස්කම් දියුණු කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම මෙයින් ඉගෙන ගන්න දේවල් මගේ කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයින් සමඟ බෙදාගන්න මට පුළුවන් වෙයි.

Darren Gough තමයි මට කතා කළේ මෙවර තරගාවලියේ පළමු අර්ධය Yorkshire නියෝජනය කරමු කියලා. මම හිතනවා මට ඊළඟ වසරේත් මගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව දීර්ඝ කරගන්න පුළුවන් වෙයි කියලා. මම සූදානම් Yorkshire කණ්ඩායම සමඟ දීර්ඝ ගමනක් යන්න”, යැයි ඔහු ප්‍රකාශ කර තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<