Taskin සහ Shorifulට ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

1153

බංග්ලාදේශ කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩකයින් වන Taskin Ahmed සහ Shoriful Islam හට ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අහිමි වනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් බලධාරින් ප්‍රකාශ කර තිබුණා.

කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනෙකු වන ඔවුන් ආබාධ නිසාවෙන් මෙම තරගයෙන් ඉවත් කර ඇති අතර Taskin Ahmed හට තරගාවලියේ තරග ද්විත්වයම අහිමි වීමේ අවධානමක් ඇති බව වාර්තා වෙනවා.

මෙම ක්‍රීඩකයන් පළමු තරගයෙන් ඉවත්කිරීම පිළිබඳව Cricbuzz වෙබ් අඩවිය වෙත තහවුරු කරමින් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරි Jalal Yunus ප්‍රකාශ කළේ මෙම ක්‍රීඩකයින් සම්පූර්ණ යෝග්‍යතාවයට ගෙන ඒම ඉදිරි තරගවලට ඉතා වැදගත් බවයි.

වළලුකරෙහි ඇති වූ ආබාධයක් නිසාවෙන් Shoriful හට දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලිය ද අහිමි වූ අතර ඔහු එයින් සුවය ලැබුව ද උදරයේ ඇති වූ යම් ආබාධයක් නිසාවෙන් ඔහුට විදෙස් රටක ශල්‍යකර්මයකට යොමුකිරීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරින් සැලසුම් කර තිබෙනවා.

දකුණු උරහිසේ ඇති වූ ආබාධයක් නිසාවෙන් Taskin දකුණු අප්‍රිකානු සංචාරය අතරවාරයේ දී කණ්ඩායමෙන් ඉවත් වූ අතර ඔහු මේ වන විට සුවය ලබමින් සිටිනවා.

“Taskinට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගාවලිය අහිමි වීමට ඉඩක් පවතින අතර Shorifulට ද පළමු ටෙස්ට් තරගය අහිමි වෙනවා. Taskin මේ වන විට උරහිසේ ආබාධයක් නිසාවෙන් ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුව එංගලන්තයට යැවීමට අපි සැලසුම් කරමින් සිටින්නේ. ඔහු එහි ගොස් පැමිණි විට සම්පූර්ණ සුවයෙන් පසුවෙයි.”

“Shoriful හට ශල්‍යකර්මයක් සඳහා විදේශ ගත වීමට සිදුව ඇති නිසාවෙන් ඔහුව ද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට එක්කර ගන්න අපිට හැකියාවක් නැහැ. ඉදිරියේ දී ජාත්‍යන්තර තරග රාශියක් ඇති නිසාවෙන් ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක රඳවා ගැනීමටයි අපට අවශ්‍ය.” යනුවෙන් Jalal Yunus ප්‍රකාශ කළා.

එමෙන්ම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොලැබීම නිසාවෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය Taskin හට වන්දියක් ගෙවීමට සැලසුම් කරන බව ද Yunus ප්‍රකාශ කළා.

දකුණු අප්‍රිකානු තරගාවලියට Taskin එක්කර ගැනීම නිසා ඔහුට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද අහිමි වීම නිසාවෙන් එම ක්‍රීඩකයාට වන්දියක් ගෙවන ලෙස හිටපු බංග්ලාදේශ ක්‍රිකට් නායක Mashrafe Mortaza මීට පෙර ප්‍රකාශ කර සිටියා.

“අපි ඔහුට මූල්‍යම වශයෙන් වන්දි ගෙවීම ගැන සලකා බලමින් සිටිනවා. ඒත් ඔහු රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම වැදගත් බව ප්‍රකාශ කර තිබුණා. ඒ නිසා මුදල් ප්‍රධාන ප්‍රශ්නය නොවන නමුත් අපි සිතමින් ඉන්නේ ඔහුට වන්දි ගෙවන ආකාරය ගැන.” යැයි Jalal Yunus වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මීට අමතරව බංග්ලාදේශ කණ්ඩායම 2027 වසරේ ඕස්ට්‍රේලියාවේ දී තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට සහභාගී වීමට සූදානම් බව ද ඔහු තහවුරු කර තිබුණා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම 2008 වසරෙන් පසුව ඕස්ට්‍රේලියාවේ දී තරගාවලියකට සහභාගී වන පළමු අවස්ථාව මෙය වන අතර ඔවුන් 2003 වසරේ දී ඕස්ට්‍රේලියාව තුළ පළමු ටෙස්ට් තරගයට සහභාගීව තිබුණා.

2023 සිට 2027 දක්වා කාලසීමාව තුළ බංග්ලාදේශ කණ්ඩායම දළ වශයෙන් ටෙස්ට් තරග 42ක් එක්දින තරග 76ක් සහ විස්සයි විස්ස තරග 70කට සහභාගී වීමට අපේක්ෂාවෙන් පසුවේ.

Cricbuzz වෙබ් අඩවිය ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<