මුරලිගේ චෝදනාවලට මැතිව්ස් සහ දිමුත්ගෙන් පිළිතුරු

2517
Dimuth Karunaratne and Angelo Mathews respond to Muralitharans

පසුගිය දා හිරු TV නාලිකාව සමඟින් සාකච්ඡාවකට එක්වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණා. 

එහි දී මුරලිදරන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයන් අතර ඇති ගැටලු සම්බන්ධයෙන් ද අදහස් දක්වා සිටි අතර එහි දී ඔහු විසින් එහි පූර්ණ වගකීම ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ගත යුතු බව පවසා තිබුණා. 

මුත්තයියා මුරලිදරන් විසින් සිදු කළ මෙම ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වන වත්මන් ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් ඔහුට ලිපියක් යොමුකර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

ඇන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න විසින් මුත්තයියා මුරලිදරන් හට යොමු කළ ලිපියේ පූර්ණ සිංහල පරිවර්තනයක් පහත දැක්වේ.

2021 ජූලි 17

ආදරණීය මුරලි අයියා වෙත,

පසුගිය දා ඔබ ජාතික රූපවාහිනී නාලිකාවක පෙනී සිටිමින් කොන්ත්‍රාත් ගැටලුව පිළිබඳ කරුණුවල වැරදි බව අවධාරණය කිරීම සඳහා මෙම ලිපිය යොමු කර සිටිමු. අවාසනාවන්ත ලෙස සහ කණගාටුදායක ලෙස ඔබ සමඟින් කණ්ඩායම නියෝජනය කළ සාමාජිකයන් ලෙස අප පිළිබඳව ඔබ මහජනයාට නිරූපණය කළ ආකාරය සහ ක්‍රීඩක කොන්ත්‍රාත් ගැටලුව පිළිබඳව ඔබ පැවසූ කරුණු අසත්‍යය.

මෙම ක්‍රීඩක කොන්ත්‍රාත්තුවල ඇති ගැටලුව සම්පූර්ණයෙන්ම මුදල් බව ඔබ මෙහි දී ප්‍රකාශ කිරීම අසාධාරණ වන අතර එය අසත්‍යයකි.

එවැනි චෝදනා අපි නිහතමානීව ප්‍රතික්ෂේප කරමු.

පසුගිය කාලය තුල සිදු වූ සිදුවීම්වල නිවැරදි අනුපිළිවෙළ සහ නිවැරදි තොරතුරු පිළිබඳව ඔබට නිසි ලෙස දැනුම් දී නොමැති බව හෝ වැරදි තොරතුරු ලබා දී ඇති බව අපට හැඟේ.

ක්‍රීඩකයන් සහ ක්‍රිකට් පරිපාලනය අතර භේදයක් ඇති කර අසමගිය ඇති කිරීමට කැමති පාර්ශ්වයන් එලෙස සිදු කළා විය හැකිය.  ඉතින්, මෙම වැඩසටහන ආරම්භයේ සිටම, ඔබ විසින් නමින් හැඳින්වූ අපට සහ සමස්ත කණ්ඩායමට එරෙහිව විශාල අසතුටක් හා වෛරයක් පෙන්නුම් කළ බව පෙනේ.

ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ඔබ ක්‍රීඩකයන්ගේ අසාර්ථකත්වයන් පිළිබඳව දිගින් දිගටම ප්‍රසිද්ධ මාධ්‍යයේ කතා කිරීම ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යයට බෙහෙවින් අහිතකර විය හැකිය. සජීවී රූපවාහිනී වැඩසටහනක දී එවන් දේ කතා කිරීමෙන් තොරව ක්‍රිකට් ආයතනය තුල ඇති රැස්වීම්වල දී එවැනි දේ කළ හැකි බව අපගේ මතයයි. ක්‍රිකට් ක්‍රීඩාව තුල ඔබේ පෞරුෂය ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් ලෙස රැඳී පවතී. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඔබ වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු අවශ්‍ය වන මෙවන් මොහොතක් තුළ ඔබ සිදු කරන සුළු කාර්‍යයක් වුව ද මුළු ජාතියටම බලපෑම් කල හැකියි.

ඔබ නිසැකවම ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අතර එය මුළු මහත් ලෝකයම දැක තිබේ. ඔබ අප සැමට ආදර්ශයක් සපයන ක්‍රීඩකයෙක්. අපි දෙදෙනාම ඔබ සමඟ කණ්ඩායම් සගයන් ලෙස ක්‍රීඩා කර ඇති අතර ඔබ සමඟ අපගේ ඇති සම්බන්ධතාවය අපි අගය කරමු.

මෙම සජීවී රූපවාහිනී වැඩසටහනේ දී ඔබ විසින් කණ්ඩායම සහ අප දෙදෙනා අපහාසයට ලක් කිරීම අවාසනාවකට මෙන් සමාජ සම්මතයන්හි ප්‍රමිතීන්ට වඩා පහළ මට්ටමක පවතින බවත් එය හුදෙක් වෘත්තීයමය නොවන ක්‍රියාවක් බවත් අපගේ මතයයි.

මෙම සජීවී රූපවාහිනී වැඩසටහන අතරතුර, ඔබ විසින් මෙසේ පවසා තිබුණි.

අ) අපි දෙදෙනා සහ තවත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙම කොන්ත්‍රාත් ගැටලුව ආරම්භ කළේ අපගේ ගෙවීම් පමණක් අඩු වූ නිසාය.

ආ) මෙම කොන්ත්‍රාත් ප්‍රශ්නය තනිකරම මුදල් අවශ්‍යතාවය මත පදනම් වූ අතර අපි අනෙක් සියලුම ක්‍රීඩකයින්ගේ උනන්දුව අවදානමට ලක් කර ඔවුන් නොමඟ යවා ඇත.

ඇ) අපි කනිෂ්ඨ ක්‍රීඩකයින් අපගේ පුද්ගලික වාසි තකා වැරදි මාර්ගයට යොමු කර ඇති අතර අප සියලු ක්‍රීඩකයින්ගේ වෘත්තීන් අවදානමට ලක් කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින මේ වසරේ දී ක්‍රීඩකයින් 24 දෙනෙකුට කොන්ත්‍රාත්තු ලබා දී ඇති අතර තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කොන්ත්‍රාත් ලබා දී නොමැත. එලෙස කොන්ත්‍රාත්තු ලබා නොදුන් ක්‍රීඩකයන් හට ඔවුන්ගේ දක්ශතා සාධාරණ මට්ටමක තිබූ බව හැඟී ගොස් තිබූ අතර ඔවුන්ට කොන්ත්‍රාත්තු ලබා නොදීම පිළිබඳව අපැහැදිලි බවක් ඇතිවී තිබුණි. තවත් ක්‍රීඩකයන් කීපදෙනෙකු සඳහා සාධාරණ දක්ෂතා දක්වා තිබියදීත් ඔවුන්ගේ කොන්ත්‍රාත් මට්ටම පහළ දමා තිබුණි. මෙහිදී කොන්ත්‍රාත් ලබා දුන් ආකාරය පිළිබඳව විනිවිදභාවය ගැටලු සහගත බව ක්‍රීඩකයන්ට හැඟුණි.

අපි ක්‍රීඩකයන් ලෙස මේ සම්බන්ධයෙන් කණ්ඩායමක් ලෙස එකට සිටියෙමු.

කොන්ත්‍රාත් සාකච්ඡා සහ ගැටලු සඳහා අප විසින් අපගේ කොන්ත්‍රාත්තු පිළිබඳ අත්දැකීම් ඇති සහ පසුගිය වසර කිහිපය තුළ කණ්ඩායම සඳහා උපදේශ ලබා දුන් ක්‍රීඩක නියෝජිතයෙකු වන නීතිඥයෙකුගේ සේවය ලබාගත්තෙමු. ටෙස්ට් සහ එක්දින සංචිතවල සිටින සියලුම ක්‍රීඩකයින් මේ සම්බන්ධයෙන් (online) රැස්වීම් කිහිපයකට සහභාගී වූ අතර ඉහත නියෝජිතයා ද එයට සහභාගී වී සිටියේය. මෙහිදී තම අදහස් හා යෝජනා ප්‍රකාශ කිරීමට සෑම කෙනෙකුටම අවස්ථාව ලබා දෙන ලදි. ඉන් අනතුරුව ක්‍රීඩකයින් 38 දෙනෙකු අත්සන් කළ ලිපියක් මගින් අපගේ අදහස් සහ යෝජනා ක්‍රීඩක නියෝජිතයා වෙත දැනුම් දෙනු ලැබුණි.

(අ) මෙම කොන්ත්‍රාත් ක්‍රමය තුල විනිවිදභාවය ලබා නොදුන් වටපිටාවක් තුල ලබා දී ඇති කොන්ත්‍රාත්තු අසාධාරණ සහ පදනම් විරහිත යැයි ක්‍රීඩකයින්ට හැඟෙන බවත්,

(ආ) මෙම කොන්ත්‍රාත් සඳහා පාදක වූ ක්‍රීඩක ඇගයීම් පිළිබඳව වාර්තාවක් අපට ලබා දීමෙන් කොන්ත්‍රාත්තු සාධාරණ හා විනිවිදභාවයකින් යුක්ත වනු ඇති බවත්,

ඇ) සෑම විටම ඕනෑම තත්ත්වයක් තුල ක්‍රීඩකයන් ලෙස අප ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා සූදානම් බවත් එමඟින් අප දැනුම් දුන්නෙමු.

එංගලන්ත සංචාරයට පෙර ක්‍රීඩකයන් විසින් එම ක්‍රීඩක ඇගයීම් (විනිවිදභාවය) පිළිබඳව සඳහනක් අඛණ්ඩව ඉල්ලා සිටි අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2021 ජුනි 7 වන දින ලබා දුන් ලිපියක් මගින් මධ්‍යම කොන්ත්‍රාත්තු සම්බන්ධයෙන් ක්‍රීඩක ඇගයීම් ලිඛිතව නිකුත් කරන බව දන්වා සිටියේය. ඉහත මාධ්‍ය සාකච්ඡාව තුල දී ඔබ විසින් “කොන්ත්‍රාත් පිළිබඳව විනිවිදභාවය ලබා දිය යුත්තේ ඇයි?” යනුවෙන් ඔබ දිගින් දිගටම අදහස් දැක්වීම මඟින් ඔබ මේ පිළිබඳව දැනුවත්ව නොමැති බව පෙනී යයි.

ඕනෑම ගිවිසුමකට එළඹීමට පෙර සෑම කෙනෙකුටම සාධාරණ ප්‍රශ්න ඇසීම අයිතියක් බව සියලු ක්‍රීඩකයින්ගේ අදහස විය.  ක්‍රීඩකයන් ඔවුන්ගේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට සහ ඔවුන්ගේ අඩුපාඩු වැඩිදියුණු කරගැනීම සඳහා ඔවුන්ගේ ඇගයීම් පෞද්ගලිකව දැන සිටිය යුතු බව අපගේ මතයයි. මෙය මුළුමනින්ම ක්‍රීඩකයන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත පිණිස කරනු ලබන ඉල්ලීමකි. ඒ අනුව, මෙම කාරණයේ දී අප ඉල්ලා සිටින විනිවිදභාවය අතිශයින්ම සාධාරණය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දුන් සහතිකය මත ක්‍රීඩකයන් එංගලන්ත සංචාරයට සහභාගී වූ අතර එයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සපයන ලද ලියවිල්ලට අත්සන් තබා සංචාරය ආරම්භ කළහ. එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයින් 24 දෙනෙකි ජෛව බුබුලක සිටි අතර, අප ඒ සඳහා ඇතුළත් වූයේ නැත.

ක්‍රීඩකයන් ස්වේච්ඡාවෙන් ලේඛනයකට අත්සන් කරන විට, කිසිවෙකු ඔවුන්ව නොමඟ යවන්නේ කෙසේ ද??? ගිවිසුම් අත්සන් කිරීමේ දීත් එය සමාන නොවේ ද?? එවන් තත්ත්වයක් තුල අප සහ තවත් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් කීපදෙනෙකු සෙසු ක්‍රීඩකයින් නොමඟ යවා රැවටූ බව සජීවී රූපවාහිනී වැඩසටහනක සඳහන් කිරීම නිවැරදි දැයි අපි ඔබෙන් අසන්නෙමු. කිසිදු පීඩනයක් හෝ බලපෑමක් නොමැතිව ක්‍රීඩකයින් ඒකමතිකව එකඟ වී එකට කටයුතු කළහ.

තවද, ඔබ ක්‍රිකට් කමිටුව පත්කිරීමෙන් අනතුරුව ආරම්භයේ දී ම පැවති එක් රැස්වීමකට පමණක් සහභාගී වීම පුදුමයට කරුණකි. වත්මන් කොන්ත්‍රාත් පිළිබඳව සිදු වූ සාකච්ඡා අතරතුර ඔබ අප සමඟ කතා කළේ නැත. ඒ වෙනුවට ඔබ තෝරාගත්තේ අපට පණිවුඩයක් හෝ ඇමතුමක් ලබා නොදී සජීවී රූපවාහිනි වැඩසටහනක් තුල දී සමස්ත ජාතික කණ්ඩායමටම චෝදනා එල්ල කිරීමයි.

අවාසනාවකට මෙන් ක්‍රීඩකයන්ට මාධ්‍ය වෙත සෘජුවම ඇමතීම දැඩි ලෙස සීමා කර ඇත. ඔවුන්ගේ කොන්ත්‍රාත් වගන්ති මඟින් එසේ කිරීම සීමා කරන අතර එය කොන්ත්‍රාත්තුව කල් ඉකුත් වී වසරක් දක්වා බලපැවැත්වේ.

ඔබට මතක ඇති, 2016 දී අපි (ඇන්ජලෝ සහ දිමුත්) ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 සිටි ඕස්ට්‍රේලියා කණ්ඩායම පූර්ණ පරාජයකට ලක් කල කණ්ඩායමේ සාමාජිකයන් වුනෙමු. එම තරග මාලාවේ දී ඔබ අපේ දඟ පන්දු යවන තණතීරු වල ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දෙන ආකාරය පිළිබඳව උපදේශකවරයෙකු ලෙස ඕස්ට්‍රේලියාව විසින් ගිවිසුම්ගත විය.

අප කණ්ඩායම ඔබ උපදේශකවරයෙකු ලෙස ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟින් ගිවිසුම්ගත වීම හුදෙක් වෘත්තීමය කරුණක් ලෙස සැලකූ අතර අප කිසිවිටෙකත් එය මූල්‍යමය වශයෙන් ප්‍රශ්න කිරීමට උත්සාහ කළේ නැත. ලෝකයේ අංක 1 කණ්ඩායමට ඔබ සහ ඔබේ සේවාවන් අවශ්‍ය බව සැලකූ අප ක්‍රීඩකයින් වශයෙන් සතුටු වුනෙමු.

තවද, ක්‍රීඩකයින්ට ඔවුන්ගේ ඇඳුමේ ජාතික ධජය නොමැතිව ක්‍රීඩා කිරීමට අවශ්‍ය බවට ඔබ විසින් කළ අවාසනාවන්ත චෝදනාව ද අසත්‍ය සහ පදනම් විරහිතය. 2011 වසරේ දී අප මාස 15ක් කිසිදු ගෙවීමකින් තොරව රට වෙනුවෙන් ක්‍රීඩා කළ කණ්ඩායමක සාමාජිකයන් වී සිටි බව ඔබට මතක ඇත. මෙම අවස්ථාවේ දී ද ක්‍රීඩකයන් 2020 ඔක්තෝබර් මාසයේ සිට මධ්‍යම කොන්ත්‍රාත්තු නොමැතිව ක්‍රීඩා කර ඇත.  අපි හැම විටම අපේ රට වෙනුවෙන් ක්‍රීඩා කළෙමු.

ආරවුල් ඇති වූ විට අප ක්‍රීඩකයන් ලෙස සැමවිටම එකට සිට ඇත. අතීතයේ ද එය එසේ වූ අතර වර්තමානයේ දී සහ අනාගතයේ දී ද එය කළ යුතුය.

තවද මේ අවස්ථාවේ දී සියලුම ක්‍රීඩකයින්, පසුගිය කාලය තුල දක්ෂතා දැක්වූ එහෙත් කොන්ත්‍රාත් ලබා නොදුන් නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා, අසිත ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ සහ තවත් ක්‍රීඩකයින් 14 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි බව ඔබ නොදැන සිටීම අවාසනාවකි. පසුගිය අවුරුදු දෙක තුළ අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායම වෙනුවෙන් එක්දින තරගවල දී වැඩිම ලකුණු රැස් කළ අයගෙන් කෙනෙකි. එවන් තත්ත්වයක් තුල විනිවිදභාවය ඉල්ලා සිටි නිසා කිසිදු ක්‍රීඩකයෙකුට කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය නොකළ යුතු බව ඔබ ප්‍රකාශ කිරීම සාධාරණ ද?

සිදුවීම්වල නිවැරදි අනුපිළිවෙළ පිළිබඳව ඔබට නිසි ලෙස දැනුම් දී නොමැති බව හෝ වැරදි තොරතුරු ලබා දී ඇති බව අපි නැවත අවධාරණය කරමු. අපි ඔබව හමුවීමට සහ මේ පිළිබඳව ඕනෑම දෙයක් පැහැදිලි කිරීමට කැමැත්තෙන් සිටිමු. අප අතර ආරවුලක් නොමැති බව අපි තවමත් විශ්වාස කරන අතර මෙම අවාසනාවන්ත සිදුවීම ඉවත් කර අපට ඉදිරියට යා හැකි බව අප විශ්වාස කරමු. ක්‍රීඩාව සහ රට වෙනුවෙන් අප එසේ කළ යුතුය. ශ්‍රී ලංකාව නැවත ජයග්‍රාහී මාවතට ගෙන ඒම සහතික කිරීම වෙනුවෙන් ක්‍රීඩකයින් පෙළඹවීම සඳහා ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩකයින් ඉතා සමීපව කටයුතු කළ යුතු බව අපි තරයේ විශ්වාස කරමු.

ක්‍රිකට් කමිටුවේ සාමාජිකයෙකු ලෙස මෙම දුෂ්කර කාලවල දී කණ්ඩායමට දිරිගැන්වීමට සහ උපකාර කිරීමට සහය වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

ඔබ අපේ මාතෘ භූමියේ ශ්‍රේෂ්ඨයෙකු වන අතර ඔබගේ ජයග්‍රහණ කිසිවෙකු කිසිවිටෙකත් අභිබවා නොයනු ඇත.

අපගේ ශ්‍රී ලංකා ධජය සැමදා ඉහළටම රැගෙන යන්න මුරලි අයියා!

ඔබේම විශ්වාසි,

දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<