ආසියානු කුසලානයට යන නිල ශ්‍රී ලංකා සංචිතය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

482

2022 ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය අද (20) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා.

සුපුරුදු පරිදි දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුළත් අතර එහි උපනායකත්වය චරිත් අසලංක වෙත ලබා දී තිබෙනවා.

නිමා වුනු SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී මැදපෙළ පිතිකරුවෙක් ලෙස දස්කම් දැක්වූ අශේන් බණ්ඩාර සහ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා යළි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ද මේ සංචිතයේ ස්ථානයක් හිමි කර තිබෙන අතර වමත් වේගපන්දු යවන යොවුන් ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක ද සංචිතයට කැඳවා තිබෙනවා.

මෑතක දී ශ්‍රී ලංකා සංචිතවලට පැමිණි නවක වේගපන්දු යවන ක්‍රීඩකයින් වන ප්‍රමෝද් මදුශාන් සහ මතීෂ පතිරණ ද මේ සංචිතයේ සිටින අතර නිමා වුනු SLC ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වෙමින් තරගාවලියේ වීරයා වුනු අසිත ප්‍රනාන්දු සහ ආබාධයටකට ලක්ව සුවය ලබමින් සිටින දුෂ්මන්ත චමීර සංචිතයේ සිටින අත්දැකීම් බහුලතම නිත්‍ය වේගපන්දු යවන්නන් වෙනවා.

කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල් ද නැවතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්. එසේම යොවුන් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු ද සංචිතයට ඇතුළත්.

එසේම මේ සංචිතය සඳහා මුලින් ඇතුලත්ව සිටි වේගපන්දු යවන ක්‍රීඩකයින් වන කසුන් රාජිත සහ බිනුර ප්‍රනාන්දු ආබාධයන් වලට ලක්ව සිටින නිසාවෙන් මේ සංචිතය සඳහා ඇතුලත් කර නැහැ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සූදානම් වීම සඳහා සෑම කණ්ඩායමකටම මේ තරගාවලිය ඉතාමත් වැදගත්.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිත අතර එම තරගය මේ මස 27 වැනිදා Dubai හිදී පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මූලික වටයේ දෙවැනි තරගය සැප්තැම්බර් පළමු වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

මූලික වටය අවසානයේ දී A කාණ්ඩයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් හා B කාණ්ඩයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් සුපිරි 4 වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා අතර, සුපිරි 4 වටයේ තරග සැප්තැම්බර් 3 වැනිදා සිට 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සුපිරි 4 වටයේ දී පෙරමුණේ පසුවන කණ්ඩායම් 2 අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, නුවනිඳු ප්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩසේ, ඩිල්ශාන් මදුශංක.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<