ඕෂද ශතකයක් වාර්තා කරද්දී දිලුම්ට කඩුලු 4ක්

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියට 2022

321

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දෙවැනි දිනය වූ අද (08) දවස නිමාවේ දී කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත් වීමට මහනුවර කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු සහ යාපනය කණ්ඩායමේ දිලුම් සුධීර සමත් වුනා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ දී ඕෂද තම පළමු පෙළ 16 වැනි ශතකයක් ලබා ගත් අතර 21 හැවිරිදි වමතින් දඟපන්දු යවන දිලුම් තම පළමු පෙළ තරගවල හොඳම පන්දු යැවීම වාර්තා කළා.

පෙර දිනයේ තරගය නතර කරන විට නොදැවී පිටියේ රැඳී සිටි ඕෂද සහ නායක කමිඳු මෙන්ඩිස් අද තවත් ලකුණු 34ක් ඉනිමට එක් කරමින් තෙවැනි කඩුල්ලට ලකුණු 188ක සබඳතාවක් එක් කළා.

දිනයේ පළමු වෙන් ම දැවී ගිය ක්‍රීඩකයා වූයේ ඕෂදයි. ඔහු පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 109ක් ලබා සිටියා.

කමිඳුට ලබා ගත හැකි වූයේ ලකුණු 87ක් පමණයි. ඔහු ඒ වෙනුවෙන් පන්දු 167කට මුහුණ දී සිටි අතර ඊට හතරේ පහර 7ක් ඇතුළත් ව තිබුණා. නිරෝෂන් දික්වැල්ල ද පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.

මහනුවර ඉනිමේ යටි පෙළ ශක්තිමත් කළ පුලින තරංග පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී පෙර දිනයේ කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට නොහැකි වූ දිලුම් අද ලකුණු 86කට කඩුලු 4ක් දවා ගත්තා. ඔහු කඩුලු ලබා ගැනීම ආරම්භ කළේ ඕෂදගේ කඩුල්ල දවා ගනිමිනුයි.

ඊට අමතර ව ධනංජය ද සිල්වා කඩුලු 3ක් ද, ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2ක් ද සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 42ක් ලබා සිටියා. දැවී ගිය පිතිකරු වූයේ නවෝද් පරණවිතාන. ඔහු ලකුණු 13ක් ලබා සිටියා.

මේ වන විට නිශාන් මධුශ්ක ලකුණු 24ක් සහ සමින්ද ප්‍රනාන්දු ලකුණු 2ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටිනවා.

  • මහනුවර කණ්ඩායම; පළමු ඉනිම (පළමු දිනයට තරගය නතර කරන විට පන්දුවාර 1ක දී කඩුලු 2ක් දැවී 288) සියලුම දෙනා දැවී 444 (131.2) කමිල් මිෂාර 56, කසුන් විදුර 71, ඕෂඳ ප්‍රනාන්දු109, කමිඳු මෙන්ඩිස් 87, නිරෝෂන් දික්වැල්ල 32, පුලින තරංග 43, ධනංජය ද සිල්වා 3/96, දිලුම් සුධීර 4/86, ජෙෆ්රි වැන්ඩර්සේ 2/97
  • යාපනය කණ්ඩායම; පළමු ඉනිම (දෙවැනි දිනයට තරගය නතර කරන විට) කඩුල්ලක් දැවී 42 (20) නිශාන් මධුශ්ක නොදැවී 24

හෙට (09) තරගයේ තෙවැනි දිනයයි. තරගයේ උණුසුම් පුවත් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<