තරුෂි කනිෂ්ඨ වාර්තා පොත් අලුත් කරයි

Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

289
Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය 2023

පාසල් මලල ක්‍රීඩා පිටිය උණුසුම් කරමින් සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි දිනයේ තරග අද (15) පැවැත්වුනා.

ඉතා උණුසුම් ඉසව් කිහිපයකින් සමන්විත වූ අද දිනයේ දී  මීටර් 400 බාලිකා ඉසව්වේ නව ජාතික කනිෂ්ඨ වාර්තාවක් පිහිටුවීමට යොවුන් ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් වුනා.

මීටර් 800 ඉසව්වේ ආසියානු ශූරිය වන තරුෂි මෙවර තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 400 ඉසව්ව තත්පර 52.63ක කාලයකින් අවසන් කරමින් එම ජාතික වාර්තාව සහ තරගාවලි වාර්තාව බිඳ හෙළන්නට සමත් වුනා.

ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් වසර කිහිපයේ දී වාර්තා රැසක් සිය නාමයට එක් කර ගත් තරුෂිගේ අවසන් තරගාවලිය ජෝන් ටාබට් මෙය වන අතර මෙම තරගාවලියෙන් පසු ඇය ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වෙනවා.

අද දිනයේ පැවති 16න් පහළ මීටර් 400 බාලක රන් පදක්කම කුරුණෑගල ජෝන් කොතලාවල විද්‍යාලයේ අයි. එම්. බෝගොඩ (තත්පර 50.43) විසින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එහි බාලිකා ඉසව්වේ ජයග්‍රහණය තත්පර 57.88ක කාලයකින් අවසන් කළ වළල ඒ රත්නායක විද්‍යාලයේ එස්. වික්‍රමසිංහ සතු වුනා.

තත්පර 57.30ක කාලයකින් 18න් පහළ බාලිකා මීටර් 400 ඉසව්ව අවසන් කළ මාතර මධ්‍ය මහා විද්‍යාලයේ ටී. නුහංසා එහි රන් පදක්කම දිනා ගනිද්දී, එම වයස් කාණ්ඩයේ බාලක ඉසව්ව තත්පර 49.03ක කාලයකින් ඉසව්ව අවසන් කළ ගාල්ල මහින්ද විද්‍යාලයේ ජේ. කිරුළු විසින් දිනා ගත්තා.

20න් පහළ බාලක මීටර් 400 ඉසව්වේ ජයග්‍රහණය හිමි වුනේ තත්පර 48.37ක කාලයකින් තරගය අවසන් කළ කෑගලු විද්‍යාලයේ ඩී. චතුරංග හටයි.

මීටර් 400 තරගවලට පසුව මීටර් 4×100 සහය දිවීමේ ඉසව් පැවති අතර එහි 16න් පහළ කාණ්ඩයේ බාලිකා තරගය තත්පර 51.22ක කාලයකින් අවසන් කළ වත්තල ලයිසියම් විද්‍යාලයීය කණ්ඩායම විසින් ජයග්‍රහණය කරද්දී, එහි බාලක ඉසව්ව තත්පර 44.23ක කාලයකින් අවසන් කළ මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය විසින් ජයග්‍රහණය කළා.

තත්පර 50.88ක කාලයකින් ඉසව්ව අවසන් කළ මොරටුව වේල්ස් කුමරි විද්‍යාල කණ්ඩායම 18න් පහළ බාලිකා මීටර් 4×100 තරගය ජයග්‍රහණය කළ අතර එහි බාලක ඉසව්වේ ජයග්‍රහණය හිමි වුනේ තත්පර 44.08ක කාලයකින් තරගය අවසන් කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයටයි.

තියුණු සටනකින් පසු පන්නිපිටිය ධර්මපාල විද්‍යාල ක්‍රීඩිකාවන් (තත්පර 49.95) 20න් පහළ මීටර් 4×100 බාලිකා ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වෙද්දී, කැපී පෙනෙන තරගයකින් පසු 20න් පහළ බාලක ඉසව්ව කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩකයින් විසින් ජයග්‍රහණය කළා.

>>තරගාවලියේ මෙතෙක් තරග ප්‍රතිඵල<<  

තරගාවලියේ තවත් උණුසුම් ඉසව් කිහිපයක් හෙට (16) පැවැත්වීමට නියමිත අතර එම ඉසව් ඇතුළු තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<