කොරෝනා වැළඳුණු ලෝක ශූරයාට ප්‍රධාන තරගාවලියක් අහිමි

155
VCG Image

මීටර් 3000 ඉසව්වේ ලෝක ශූරයෙකු මෙන්ම වත්මන් ඔලිම්පික් ශූරයා ද වන කෙන්යානු සුපිරි මලල ක්‍රීඩක Conseslus Kipruto හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඔහු විසින් පසුගිය දා මාධ්‍ය වෙත දැනුම් දෙන ලදි.

ලෝක ශූරයාගේ කොරෝනා වාර්තාව ගැටලුවක්

එම වයිරස ආසාදනය වී ඇති බව නිවේදනය කිරීමට ප්‍රථම ඔහු විසින් මෙම මස 14 වැනි දින ආරම්භ වීමට නියමිතව ඇති Monaco ඩයමන්ඩ් ලීග් තරගාවලිය සඳහා සහභාගි වන බව දැනුම් දී තිබූ අතර ඔහු හට තරගාවලිය සඳහා සහභාගි වීමට ප්‍රංශ රජයේ අවසරය ද හිමිව තිබුණි.

කෙසේ නමුත් වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා ඔහු හට Monaco ඩයමන්ඩ් ලීග් තරගාවලියට සහභාගි වීම අහිමි වන අතර මෙය පිළිබඳව මාධ්‍ය වෙත දැනුම් දෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ තමන්ට කිසිදු රෝගී ලක්ෂණයක් නොතිබූ බවත් සහ තමන් හොඳ ශරීර සෞඛ්‍යයකින් සිටි බවයි.

“මම ලෝක වාර්තාවක් කරා යාමටයි සැලසුම් කරන්නේ, එම වාර්තාව කෙන්යානු දේශයෙන් පිටතට ගොස් බොහෝ කාලයක්. Monaco සංවිධායකයින් සිදු කෙරූ සියලුම කාර්යයන් සඳහා මම මගේ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මාගේ සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙය ඉතාම හොඳ තරගාවලියක් වන්නැයි මම ප්‍රාර්ථනා කර සිටිනවා” යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.

ඩයමන්ඩ් ලීග් කාල සටහනේ වෙනසක්

කෙන්යාව නියෝජනය කරමින් ධාවන පිටියෙහි ඉතා කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ Conseslus Kipruto 2016 වසරේ පැවති ඔලිම්පික් තරගාවලියේ දී මීටර් 3000 බාධක දිවීමේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර එම ජයග්‍රහණයෙන් පසුව 2017 සහ 2019 වසරවල එම ඉසව්වේ ලෝක ශූරයා බවට පත්වීමට ද ඔහු සමත් විය.

ලෝක මලල ක්‍රීඩා සංගමයේ වෙනස් කල කාලසටහනට අනුව මෙම වසරේ අන්තර්ජාතික මලල ක්‍රීඩා කාලසීමාව අගෝස්තු මස 14 වැනිදා පැවැත්වෙන Monaco ඩයමන්ඩ් ලීග් තරගාවලියෙන් ආරම්භ වීමට නියමිතව ඇති අතර එම කාලසීමාව සැප්තැම්බර් මස 25 දිනෙන් අවසන් කිරීමට සැලසුම් කර ඇත.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<