නිමේෂ පිට පිට දෙවැනි ශතකයත් වාර්තා කරයි

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

212
Dialog-SLC National Super League 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි සතියේ සිව්වැනි දිනය අවසාන කරමින් යැවූ පන්දුවේ දී ශතකයක් වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායමේ දකුණත් ආරම්භක පිතිකරු නිමේෂ ගුණසිංහ සමත් වුනා.

මෙම තරගාවලියේ මීට පෙර පැවති දඹුල්ල සහ ගාල්ල අතර තරගයේ දී ද නිමේෂ ශතකයක් වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

සිව්වැනි සතිය නිමා වන විට මහනුවර කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස්, ඕෂඳ ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ සහ ලහිරු උදාර පිතිකරු ලැයිස්තුවේ පළමු ස්ථාන 4ට ශ්‍රේණිගත වීම කැපී පෙනුණා. කමිඳු ලකුණු 649ක් ද, ඕෂද ලකුණු 476ක් ද, සහන් ලකුණු 363ක් ද සහ ලහිරු ලකුණු 343ක් ද ලෙසින් රැස්කර ගනිමින් මෙසේ පෙරමුණ ගත්තා.

මේ අතර අද නිමා වූ තරග අතරින් ගාලු ක්‍රීඩකයන් යාපනය ක්‍රීඩකයන්ට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වීම කැපී පෙනුණා. එම ජයග්‍රහණයත් සමඟ ගාලු ක්‍රීඩකයන් ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ දෙවැනි තැනට පත් වූ අතර මහනුවර ක්‍රීඩකයන් ස්ථානයක් පසුපසට ගියා. තවදුරටත් එම ලැයිස්තුවේ පළමුවැනි ස්ථානය කොළඹ කණ්ඩායම සතු කරගෙන සිටින අතර අවසන් ස්ථාන දෙකට පිළිවෙළින් යාපනය සහ දඹුල්ල කණ්ඩායම් ලැයිස්තු ගතයි.

මහනුවර සහ දඹුල්ල

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

කාසියේ වාසිය දිනා ගත් මහනුවර ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 446ක් රැස්කර ගත්තා. ඊට පිළිතුරු ලෙසින් දඹුලු ක්‍රීඩකයන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී වාර්තා කරගැනීමට සමත් වුනේ ලකුණු 216ක් පමණයි.

අනතුරුව තවත් ලකුණු 230ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන් කඩුලු 9ක් දැවී ලකුණු 278ක් රැස්කර ගත්තා.

එම ඉනිම වෙනුවෙන් පෙර දිනයේ නොදැවී පිටියේ රැඳී සිටි නායක කමිඳු මෙන්ඩිස් මෙම ඉනිමේ ද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහු පන්දු 175කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 88ක් වාර්තා කරගත්තා.

ඊට අමතරව ලහිරු උදාර පන්දු 74ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් රැස්කර ගත්තා. ඔවුන් දෙදෙනා අතර සිව්වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 87ක්.

පන්දු යැවීමේ දී නැවතත් ක්‍රියාත්මක වූ මාලින්ද පුෂ්පකුමාර ලකුණු 108කට කඩුලු 5ක් දවා ගත්තා. ඔහු තරගයේ දී ලකුණු 228කට කඩුලු 12ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා. ඊට අමතරව ලහිරු සමරකෝන්, අම්ෂි ද සිල්වා, පවන්ත වීරසිංහ සහ නිමේෂ ගුණසිංහ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 509ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයන් තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී 213 රැස් කරගෙන සිටියා.

ඔවුන්ගේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 101ක සබඳතාවක් එක් කිරීමට නිමේෂ ගුණසිංහ සහ ලියෝ ෆ්‍රැන්සිස්කෝ සමත් වුනා. ලියෝ ෆ්‍රැන්සිස්කෝ පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 48ක් රැස්කර ගත්තා.

තරගයේ අවසන් පන්දුවාරයේ දී තම පළමු පෙළ දෙවැනි ශතකය වාර්තා කිරීමට නිමේෂ ගුණසිංහ සමත් වීම කැපී පෙනුණා. ඔහු පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 102ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේ දී සහන් ආරච්චිගේ කඩුලු 2ක් දවා ගත් අතර අවිඳු තීක්ෂණ සහ කමිඳු මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

මහනුවර පළමු ඉනිම සියලු දෙනා දැවී 446 (128.5): කමිල් මිෂාර 74, ලසිත් කෲස්පුල්ලේ 43, ඕෂඳ ප්‍රනාන්දු 97, කමිඳු මෙන්ඩිස් 94, ලහිරු උදාර 83, මාලින්ද පුෂ්පකුමාර 7/120.

දඹුල්ල පළමු ඉනිම සියලු දෙනා දැවී 216 (60): අශාන් ප්‍රියංජන් 73, මිනෝද් භානුක 71, ලහිරු සමරකෝන් 42අසිත ප්‍රනාන්දු 4/39, අශේන් ඩැනියෙල් 5/75.

මහනුවර දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 278 (78.2): ඕෂඳ ප්‍රනාන්දු 63, කමිඳු මෙන්ඩිස් 88, ලහිරු උදාර 42, සහන් ආරච්චිගේ 20, තික්ෂිල ද සිල්වා 34, මාලින්ද පුෂ්පකුමාර 5/108.

දඹුල්ල – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 213 (55.3): නිමේෂ ගුණසිංහ නොදැවී 102, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 48, ලසිත් අබේරත්න 26, සහන් ආරච්චිගේ 2/61.

ගාල්ල සහ යාපනය 

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ගාලු ක්‍රීඩකයන් සමත් වුනා. මේ ඔවුන් මෙම තරගාවලියේ වාර්තා කර ගත් පළමු ජයග්‍රහණයයි.

කාසියේ වාසිය දිනා ගත් ගාලු නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 254ක් රැස්කර ගත්තා. ඊට පිළිතුරු ලෙසින් ගාලු ක්‍රීඩකයන් තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 444ක් වාර්තා කරගෙන ලකුණු 190ක් ඉදිරියෙන් සිටිමින් ප්‍රතිවාදීන්ට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයන් දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී රැස්කර ගැනීමට සමත් වුනේ ලකුණු 224ක් පමණයි. එම ඉනිම වෙනුවෙන් ජනිත් ලියනගේ පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 72ක් රැස්කර ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනා.

ඊට අමතරව ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 45ක් රැස්කර ගත්තා.

පන්දු යැවීමේ දී ඩිල්ශාන් මධුශංක සහ චානක රුවන්සිරි කඩුලු 3 බැගින් ද, සුමින්ද ලක්ෂාන් කඩුලු 2ක් ද, චලන ද සිල්වා සහ මොහොමඩ් ශිරාස් එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා ලකුණු 35ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයන්ගේ කඩුලු 3ක් බිඳ වැටුණා. ඉන් කඩුලු දෙකක හිමිකාරීත්වය දුනිත් වෙල්ලාලගේ සතු වූ අතර අනෙක් කඩුල්ල කල්හාර සේනාරත්න සතු වුනා.

ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වන විට හෂාන් දුමිඳු නොදැවී ලකුණු 16ක් සහ විශාද් රන්දික නොදැවී ලකුණු 8ක් රැස් කරගෙන සිටියා.

යාපනය පළමු ඉනිම සියලු දෙනා දැවී 254 (83.5): නිශාන් මධුශ්ක 29, නවෝද් පරණවිතාන 34, සමින්ද ප්‍රනාන්දු 27, සංතුශ් ගුණතිලක 28, කල්හාර සේනාරත්න 29, නුවන් ප්‍රදීප් නොදැවී 37, ඩිල්ශාන් මධුශංක 3/51, චලන ද සිල්වා 2/72, සුමින්ද ලක්ෂාන් 4/28.

ගාල්ල පළමු ඉනිම කඩුලු 9ක් දැවී 444 (114.0): සංගීත් කුරේ 160, පබසර වඩුගේ 108, හෂාන් දුමිඳු 54, සුමින්ද ලක්ෂාන් 57, චානක රුවන්සිරි 29, ජනිත් ලියනගේ 3/53, ශෂික දුල්ශාන් 4/146.

යාපනය දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 224 (56.2): නිශාන් මධුශ්ක 45, නවෝද් පරණවිතාන 36, ජනිත් ලියනගේ 72, සංතුශ් ගුණතිලක 28, දුනිත් වෙල්ලාලගේ 21, ඩිල්ශාන් මධුශංක 3/49, චානක රුවන්සිරි 3/29, සුමින්ද ලක්ෂාන් 2/53.

ගාල්ල – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 38 (7): හෂාන් දුමිඳු නොදැවී 16, දුනිත් වෙල්ලාලගේ 2/17.

තරගාවලියේ පස්වැනි සතියේ තරග මේ මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එහි දී පැවැත්වෙන 9 වැනි තරගය ගාල්ල සහ කොළඹ කණ්ඩායම් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, 10 වැනි තරගය දඹුල්ල සහ යාපනය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟ ක්‍රිකට් ලොව තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<