“මානසික සෞඛ්‍ය විහිළුවක් නෙමෙයි”

1665
Ex-England star opens up on mental health battle

ජෛව ආරක්ෂිත බුබුළු තුල දීර්ඝ කාලයක් රැඳී සිටිමින් ඕනෑම ක්‍රීඩාවක නිරත වීම ඔබට, මට මතුපිටින් පෙනෙනවාට වඩා ඉතාමත් අභියෝගාත්මක කර්තව්‍යයක් බවට පත්වී තිබෙන අයුරු පසුගිය කාලසීමාව පුරාවටම දැක ගත හැකි වූයේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මේ සම්බන්ධයෙන් සිය හඬ අවදි කිරීමට ගත් තීරණ සමඟිනි.

වෘත්තිය මට්ටමේ ක්‍රීඩකයෙකුගේ කායික පමණක් නොව මානසික සෞඛ්‍යය ද එක හා සමාන වටිනාකමක් උසුලනුයේ ක්‍රීඩාවේ නියැලීමේ දී සාමාන්‍ය ක්‍රීඩකයෙකු හා සසඳන විට ප්‍රබල පීඩන තත්වයන් යටතේ වූවද තම දක්ෂතා ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමට ඇති හැකියාව අතිශය තීරණාත්මක සාධකයක් වන නිසාවෙනි.

නමුත් ඇතැම් අවස්ථාවල දී ක්‍රීඩකයින් තම මානසික යෝග්‍යතාව කෙරෙහි දැක්වූ නොසැලකිලිමත්කම නිසාවෙන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දුන් ආකාරය පිළිබඳව ඕනෑ තරම් උදාහරණ ක්‍රිකට් ඉතිහාසය පුරාවට දැකගත හැක.

සක්‍රීයව ක්‍රීඩාවෙහි නිරත වෙන කාලපරිච්ඡේදය තුල දී පමණක් නොව ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් පසුව ද ඇතැම් ක්‍රීඩකයින් මෙවැනි මානසික අවපාතනයන්ට ගොදුරු වීමේ අවදානමක් පැන නැඟී තිබෙන්නේ COVID-19 වැනි වසංගත කාලසීමාවන් තුල දී එවැනි සිදුවීම් සුලබව වාර්තා වීමට පටන් ගැනීමත් සමඟිනි.

මෙවන් වාතාවරණයක් හමුවේ පසුගිය දිනක තමන් ක්‍රීඩාවෙන් සමුගත් දා පටන් මේ දක්වා මුහුණු පෑමට සිදු වූ විවිධ මානසික ගැටලු පිළිබඳව ප්‍රසිද්ධ මාධ්‍යයක් ඉදිරියේ නොබියව හෙළිදරව් කිරීමට හිටපු එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Ryan Sidebottom පියවර ගෙන තිබුණේ තමන් වැනි අසරණව කාලය ගෙවා දමන ක්‍රීඩකයින් හට මෙම ගැටලුවෙන් අත්මිදිය හැකි ආකාරය සම්බන්ධයෙන් වටිනා උපදෙස් රැසක් ද ලබා දෙමිනි.

කොරෝනා වසංගතයත් සමඟ සියලුම ක්‍රිකට් තරග එකවරම නවතා දැමීමත් සමඟම තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවන් රැසකට මුහුණ පෑ ආකාරය විස්තර කර සිටි Ryan එහි දී සඳහන් කර සිටියේ තම පවුලේ අයගේ විශේෂයෙන්ම තම දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් ඇතිවූ අනාරක්ෂිත හැඟීම් නිසාවෙන් ඔහුට ඇති වූ කලකිරීම දිනය අවසානයේ දී අවසන් වූයේ කලහකාරී හැඟීම්වලින් බවයි.

“මට දැනුනේම මගේ ජීවිතය පෙනි පෙනී කඩා වැටෙනවා වගේ හැඟීමක්. මම කළේම අතීතයේ ජීවත් වෙන ගමන් අනාගතය ගැන හේතුවක් නැතිව දුක් වුන එක. මම හැමවෙලාවෙම කල්පනා කළේ මගේ දරුවන්ගේ අනාගතය ගැන. මට එයලාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න පුළුවන් වෙයිද කියන එක ගැන. මේ හැමවෙලාවකදිම මට දැනුණේ හරිම හිස්බවක්.”

2010 වර්ෂයේ දී අන්තර්ජාතික ක්‍රිකට් දිවියට සමුදීමෙන් අනතුරුව ප්‍රාන්ත ශූරතාවලිය සඳහා අඛණ්ඩව වසර 7ක් තම සේවය ලබා දුන් Ryan Sidebottom 2017 වසරේ දී සිය පළමු පෙළ ක්‍රිකට් ගමනට තිත තැබුවේ විස්සයි විස්ස ලෝක ශූරයින් බවට පත්වූ එංගලන්ත කණ්ඩායමේ සාමාජිකයෙකු වීමේ ගෞරවය ද තමන් සතු කරගනිමිනි.

“මම මගේ පවුලේ අයගේ අනාගතය ගැන ලොකු කලකිරීමකින් හිටියේ. ඒ හැමදෙයක්ම මම මගේ ඇතුලාන්තයෙන් විඳ දරාගෙන හිටියා. මට හරි නින්දක් ලබන්න තරම්වත් මගේ මනස එකලස් කරගන්න බැරි වුන අවස්ථා එමටයි. මම ගොඩක් අතීතය, අනාගතය ගැන හිතලා සන්සන්දනය කරන්න පෙලඹුණා.

“මේ නිසා සමහර වෙලාවල් වලදී මගේ පවුල උදවියත් අපහසුතාවට පත් වුනා. නමුත් මට මේ දේවල් ගැන නිර්භයව කතා කරන්න තරම් ආත්ම විශ්වාසයක් ගොඩ නැඟුණ එක සතුටට කාරණාවක්. ඔබ හැමවිටම සර්ව-සම්පූර්ණ පුද්ගලයෙක් විය යුතු නැති බව මම වගේම ලොකු මානසික පීඩනයකින් ජීවිතය ඉදිරියට අරගෙන යන ඕනෑම කෙනෙක්ට මට දෙන්න පුළුවන් ලොකුම පණිවිඩයයි.”

“තමන්ගේ හිතේ තියෙන ප්‍රශ්න ගැන කථා කරන්න. තමන්ගේ සමීපතම පුද්ගලයින්ට ඒ දේවල් ගැන කියන්න. ඒක ලොකු මානසික සුවයක් ගෙන දෙනවා. මගේ වාසනාවට මගේ බිරිඳ සහ මගේ ළඟම මිතුරන් කිහිපදෙනෙකු මම ඒ ගෙවා දමපු අඳුරු කාලපරිච්ඡේදය පුරාවටම මගේ සහායට හිටියා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<