වෙල්ලාලගේ, ප්‍රමෝද් සහ නිමන්ද යාපනයට ජය ගෙන එයි

Dialog – SLC National Super League Limited Over Tournament 2022

861

Dialog – SLC National Super League සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට යාපනය ක්‍රීඩකයන් අද (19) සමත් වුනා. ඒ මහනුවර ක්‍රීඩකයන්ට එරෙහිව මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවති අවසන් මහා තරගයෙන් ලකුණු 37ක ජයග්‍රහණයක් අත් කරගනිමින්.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පිටිය සැකසීමට මඳ වේලාවක් ගත වූ බැවින් තරගයේ ආරම්භය මදක් ප්‍රමාද වූවා. ඒ අනුව තරගය එක් කණ්ඩායමකට පන්දුවාර 49කට සීමා වුනා.

ඒ තීරණයත් සමඟින් උරගා බැලුන කාසියේ වාසිය දිනාගත් මහනුවර නායකයා තමන් පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා. ඒ අනුව ඔහුගේ ආරාධනාවෙන් පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලකුණු 258ක් වාර්තා කරගත්තා. ඊට පිළිතුරු ලෙසින් මහනුවර ක්‍රීඩකයන්ට තම ඉනිම අවසන් වීමට තවත් පන්දු 19ක් ඉතිරිව තිබිය දී සියලුම දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 221ක් පමණයි.

යාපනය කණ්ඩායම : සදීර සමරවික්‍රම (නායක), නිශාන් මධුශ්ක, සමින්ද ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ, නිමන්ද මධුශංක, සංතුශ් ගුණතිලක, රවිඳු ප්‍රනාන්දු, දමිත සිල්වා, ප්‍රමෝද් මධුශාන්, දිලුම් සුධීර, නුවන් ප්‍රදීප්.

මහනුවර කණ්ඩායම : කමිඳු මෙන්ඩිස් (නායක), ලහිරු උදාර, කවීන් බණ්ඩාර, ලසිත් කෲස්පුල්ලේ, ඕෂඳ ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, පුලින තරංග, තික්ෂිල ද සිල්වා, සචිඳු කොළඹගේ, අසිත ප්‍රනාන්දු, නිපුන් රන්සික.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයන්ගේ ආරම්භය එතරම්ම සාර්ථක වූයේ නැහැ. නමුත් මෙම තරගාවලියේ තම තෙවැනි තරගයට සහභාගී වූ වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ යාපනය කණ්ඩායමේ ලකුණු පුවරුව ගෞරවනීය තත්ත්වයකට පත් කිරීමට සමත් වුනා.

ඔහු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 87ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 74ක් රැස් කරගත්තා.

ඔහු නිමන්ද මධුශංක හා එක් වෙමින් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වුනා. එම සබඳතාව එම ඉනිමේ හොඳම ලකුණු සබඳතාවය වූ අතර නිමන්ද මධුශංක පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් වාර්තා කරගත්තා.

ආරම්භක පිතිකරු නිශාන් මධුශ්ක පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් රැස් කරගන්නා විට අංක 7 පිතිකරු ලෙසින් පිටියට පිවිසි රවිඳු ප්‍රනාන්දු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 41ක් වාර්තා කරගත්තා.

පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යැවූ අසිත ප්‍රනාන්දු ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත්තා. ඊට අමතරව සචිඳු කොළඹගේ කඩුලු 2ක් දවා ගත් අතර නිපුන් රන්සික, සහන් ආරච්චිගේ සහ පුලින තරංග ද එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු 259ක හඹා යන ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයන්ගේ ආරම්භය අඩපණ කිරීමට දකුණතින් වේගපන්දු යැවූ 28 හැවිරිදි ප්‍රමෝද් මධුශාන් සමත් වුනා. මහනුවර කණ්ඩායමේ පළමු කඩුලු 3 දවා ගත්තේ ඔහුයි.

සංතුශ් ගුණතිලක දවා ගත් කඩුල්ලත් සමඟින් ඔවුන්ගේ ලකුණු පුවරුව පන්දුවාර 11ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 65ක් ලෙස දැක්වුනා. දැවී ගිය ක්‍රීඩකයන් අතුරින් ආරම්භක පිතිකරු කවීන් බණ්ඩාර පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 28ක් ද සහ ඕෂද ප්‍රනාන්දු පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ද රැස් කරගැනීමට සමත් වුනා.

අනතුරුව කඩුල්ලේ දී නායක කමිඳු මෙන්ඩිස් සහ සහන් ආරච්චිගේ එක්ව යාපනය පන්දු යවන්නන්ගේ පන්දු 112කට මුහුණ දෙමින් පස්වැනි කඩුල්ලට ලකුණු 73ක සබඳතාවක් එක් කළා. සහන් ආරච්චිගේ පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් රැස් කරගෙන සිටිය දී තම කඩුල්ල අහිමි කර ගත්තා.

ඉන්පසුව කමිඳු මෙන්ඩිස්ට ද වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ඉඩ ලැබුනේ නැහැ. ඔහුගේ ඉනිම හතරේ පහර 4ක් සමඟින් එකතු වූ ලකුණු 46කින් නිමා වුනා. ඒ වෙනුවෙන් ඔහු පන්දු 73කට මුහුණ දී සිටියා.

තික්ෂිල ද සිල්වා තරගයේ තියුණු අවසානයක් නිර්මාණය කිරීමට උත්සාහ කළ ද ඔහුගේ ඉනිම පන්දු 19ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 3කින් සමන්විත ලකුණු 37කින් නිමා වුනා. සචිඳු කොළඹගේ පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් වාර්තා කරගත්තා.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මධුශාන් ලකුණු 59කට කඩුලු 4ක් දවා ගන්නා විට නිමන්ද මධුශංක ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතරව සංතුශ් ගුණතිලක, සමින්ද ප්‍රනාන්දු සහ දුනිත් වෙල්ලාලගේ ද එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ලකුණු පුවරුව

යාපනය කණ්ඩායම – සියලු දෙනා දැවී 258 (48.3): දුනිත් වෙල්ලාලගේ 74, රවිඳු ප්‍රනාන්දු 41, නිශාන් මධුශ්ක 36, නිමන්ද මධුශංක 35, අසිත ප්‍රනාන්දු 5/44, සචිඳු කොළඹගේ 2/53.

මහනුවර කණ්ඩායම – සියලු දෙනා දැවී 221 (45.5): කමිඳු මෙන්ඩිස් 46, සහන් ආරච්චිගේ 33, කවීන් බණ්ඩාර 24, ඕෂද ප්‍රනාන්දු 22, සචිඳු කොළඹගේ 20, ප්‍රමෝද් මධුශාන් 59/4, නිමන්ද මධුශංක 3/17.

ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න, ThaPapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<