වෙස්ලි පරාජය කරමින් සාන්ත ජෝසප් අවසන් සංග්‍රාමයට!

573

Dialog අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය අද (04) හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුණේ සාන්ත ජෝසප් විදුහල සහ වෙස්ලි විදුහල අතරයි.

එහි දී ලකුණු 16-13ක් ලෙස තියුණු ජයක් අත්කරගත් සාන්ත ජෝසප් කණ්ඩායම අපරාජිත ඉසිපතනය සමඟින් අවසන් මහා තරගයේ දී ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලැබුවා.

වැහිබර කාලගුණ තත්වයන් යටතේ පස්වරු 4.15ට ආරම්භ වූ තරගයේ දී ඉතා හොඳින් කරට කර ගැටෙමින් කණ්ඩායම් දෙකම හොඳින් තරගයට අවතීර්ණ වන ආකාරයක් දක්නට ලැබුණා.

නමුත් 24 වැනි විනාඩිය දක්වා කිසිදු කණ්ඩායමකට ලකුණු රැස්කිරීමට අවස්ථාවක් හිමි නොවූ අතර ක්ෂණයකින් ක්‍රියාත්මක වූ වෙස්ලි කණ්ඩායමේ රුචිත රොද්‍රිගු තියුණු උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වුනා. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (වෙස්ලි 05-00 සාන්ත ජෝසප්)

තරගයේ පළමු අර්ධය අවසන් වන විටත් කණ්ඩායම් දෙකටම තවත් ලකුණු රැස්කර ගැනීමට අවස්ථාවක් හිමි නොවූ අතර කණ්ඩායම් දෙකම වැහිබර කාලගුණ තත්වය නිසා පීඩා විඳිමින් ක්‍රීඩා කළ බවක් දක්නට ලැබුණා.

පළමු අර්ධය: වෙස්ලි විදුහල 05 – 00 සාන්ත ජෝසප් විදුහල

41 වැනි විනාඩියේ දී වෙස්ලි කණ්ඩායම “OffSide” නීතියට පටහැනිව ක්‍රීඩා කිරීම නිසා විනිසුරු සාන්ත ජෝසප් කණ්ඩායමට දඬුවම් පහරක් ප්‍රදානය කළා. එය සාර්ථක කරගනිමින් ලකුණු තුනක් රැස්කර ගැනීමට දිල්හාර සුභාෂ් සමත් වුනා. (වෙස්ලි 05-03 සාන්ත ජෝසප්)

නැවතත් 48 වැනි විනාඩියේ දී අනාරක්ෂිතව ක්‍රීඩකයෙකු මෙල්ල කිරීමේ වරදට වෙස්ලි කණ්ඩායමට එරෙහිව සාන්ත ජෝසප් කණ්ඩායමට තවත් දඬුවම් පහරක් හිමි වුනා. එය සාර්ථක කර ගත් දිල්හාර සුභාෂ් සාන්ත ජෝසප් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 6ක් දක්වා ඉහළ දමන්නට සමත් වුනා. (වෙස්ලි 05-06 සාන්ත ජෝසප්)

වෙස්ලි ආරක්ෂණය තවත් දුර්වල කරමින් 57 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ ජෙහාන් අතුකෝරල සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් පහසු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට දිල්හාර සුභාෂ් සමත් වුනා. (වෙස්ලි 05-13 සාන්ත ජෝසප්)

සාන්ත ජෝසප් කණ්ඩායම “OffSide” නීතියට පටහැනිව ක්‍රීඩා කිරීම නිසා වෙස්ලි කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කරගන්නට ශවීන් ජයවර්ධන සමත් වුනා. (වෙස්ලි 08-13 සාන්ත ජෝසප්)

එතැන් පටන් වෙස්ලි කණ්ඩායම සාන්ත ජෝසප් ආක්‍රමණයට පිළිතුරු සැපයීමට නොහැකි වුවත්, තරගයේ අවසන් මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ වෙස්ලි නායක තරුෂ ජයවීර තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වුනා. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (වෙස්ලි 13-13 සාන්ත ජෝසප්)

පිළිමළුන් පිටුදැකීමේ තරගයක ලකුණු තත්වය සමව තිබිය දී තරග කාලය අවසන් වුවහොත් තවත් විනාඩි 5 බැගින් අර්ධ දෙකක් ක්‍රීඩා කෙරෙන අතර එහි දී පළමුවෙන්ම ලකුණු රැස්කරන කණ්ඩායම ජය ගන්නා බව සිහි කරමින් විනිසුරු තරගය නැවත ආරම්භ කළේ මෙම තරගයේ පූර්ණ ජයග්‍රාහකයෙකු අත්‍යවශ්‍ය නිසාවෙන්.

එහි දී අදාළ අතිරේක කාලයේ පළමු අර්ධය අවසන් වුවත් කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කිරීමට අවස්ථාවක් හිමි නොවුවත්, දෙවැනි විනාඩි 5 තුල අවසන් විනාඩියේ දී නැවතත් වෙස්ලි කණ්ඩායම “OffSide” නීතිය කඩ කිරීමේ වරදට හසු වුනේ සාන්ත ජෝසප් කණ්ඩායමට තවත් උත්සාහක දිනුමක් ප්‍රදානය කරමින්.

එය සාර්ථක කර ගත් දිල්හාර සුභාෂ් තම කණ්ඩායමේ ජය සනිටුහන් කරන්නට සමත් වුනා. (වෙස්ලි 13-16 සාන්ත ජෝසප්)

අවසන් ලකුණු තත්වය: වෙස්ලි විදුහල 13 – 16 සාන්ත ජෝසප් විදුහල

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • වෙස්ලි – රුචිත රුද්‍රිගු (1T), තරුෂ ජයවීර (1T), ශවීන් ජයවර්ධන (1P)
  • සාන්ත ජෝසප් – ජෙහාන් අතුකෝරල (1T), දිල්හාර සුභාෂ් (1C 3P)

Dialog අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන සති අන්තයේ දී අපරාජිත ඉසිපතනය සහ සාන්ත ජෝසප් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<