Dialog පාසල් රග්බි ලීගය – තරගාවලියේ කණ්ඩායම

5683

ඉතාමත් උද්යෝගාත්මක ලෙස පුරා මාස දෙකක කාලයක් පුරාවට පැවති 2022 Dialog පාසල් රග්බි ලීග් තරගාවලියේ දී රාජකීය විද්‍යාලය පරාජය කරමින් ශූරතාවය දිනා ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් වුනා.

මෙවර තරගාවලියේ දැක්වූ දස්කම් අනුව ක්‍රීඩකයන් තෝරාගෙන තරගාවලියේ කණ්ඩායම නිර්මාණය කරන්නට ThePapare.com තීරණය කළා.

  1. Loose Head Prop- Kaveesha Edema – ත්‍රිත්ව විද්‍යාලය

මෙම කණ්ඩායමේ සිටින එකම ත්‍රිත්ව විද්‍යාලයීය නියෝජනය වන කවීෂ දක්ෂතා  රැසකින් සපිරි ඉදිරිපෙළ ක්‍රීඩකයෙක්. කවීෂ කණ්ඩායමේ Hooker ක්‍රීඩකයා ලෙස ද ඔහුගේ කාර්යභාර්ය මැනවින් අවබෝධ කර ගනිමින් Line Out පන්දු පිරිනැමීම, දක්ෂ ලෙස පන්දුව රැගෙන යාමේ මෙන්ම ඉතාමත් පහසුවෙන් ඕනෑම අවස්ථාවක Offload කිරීමේ හැකියාවක් සහිත ක්‍රීඩකයෙක්.

  1. Hooker – වෙනුර සංගීත් කෝදාගොඩ – ඉසිපතන විද්‍යාලය

අවිවාදයකින් තොරව තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් ලෙස වෙනුර හැදින්විය හැකි. ඉසිපතනයට මෙවර ශූරතාවය දිනා ගැනීම සඳහා ඔහුගෙන් ලද සහය ඉතාමත් වැදගත්. Scrum අවස්ථාවල දී මෙන්ම Line-Out අවස්ථාවල දීත් තම කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමට සමත් වූ ඔහු ඉතාමත් ශක්තිමත් ලෙස පන්දුව රැගෙන යාමෙන් උත්සාහක දිනුම් රැසක් වාර්තා කළ ක්‍රීඩකයෙක්.

  1. Tight Head Prop – Hafiz Thabeeth – වෙස්ලි විද්‍යාලය

උස මහත ශක්තිමත් සිරුරක් සහිත Hafiz මෙවර වෙස්ලි කණ්ඩායමේ සිටින කැපී පෙනෙනම ක්‍රීඩකයෙක්. ඔහුගේ ක්‍රියාකාරිත්වය හා ඔහු සතු වේගවත් බව නිසාවෙන්ම  ප්‍රතිවාදීන්ට ඔහුව නැවැත්වීම අභියෝගයක් වුනා. Loose Head Prop ක්‍රීඩක කවීෂ මෙන්ම Hafiz ද සම්ප්‍රදායික Prop ක්‍රීඩා විලාශයෙන් මිදි වේගවත් ක්‍රීඩා විලශයකින් ක්‍රීඩා කිරීම ඔවුන් සතු වූ විශේෂත්වයක්.

  1. Lock ක්‍රීඩක- සූර්ය දොඩන්ගොඩ – ඉසිපතන විද්‍යාලය

ඉසිපතනයේ Line-Out ජය ගැනීම් ඔවුන්ගේ සමස්ත තරගාවලි ජයග්‍රහණයටම හේතුවක් වූ සාධකයක්. සූර්ය Line-Out ක්‍රියාවලියේ දී දැක්වූ මනා පාලනය හා දක්ෂතාවය නිසාවෙන්ම එය ප්‍රතිවාදීන් බිඳ දැමීමේ ඉසිපතනයේ ප්‍රබල අවියක් වුනා.

  1. Lock ක්‍රීඩක – අබ්දුල්ලා යූසෆ් – රාජකීය විද්‍යාලය

ආරක්ෂණ ක්‍රියාවලියේ දී ඔහුගේ ක්‍රියාකාරිත්වය හා ශක්තිමත් ක්‍රීඩා විලාශය නිසාවෙන්ම තරගාවලියේ අවසන් අදියරේ දී Flanker ක්‍රීඩකයෙක් ලෙස ඔහුව යොදා ගන්නට රාජකීය විද්‍යාලය තීරණය කළා. රාජකීය විද්‍යාල කණ්ඩායමේ සිටි දක්ෂ ක්‍රීඩකයෙක් වූ අබ්දුල්ලාගේ ක්‍රීඩා විලාශය නිසා ඔවුන්ගේ ජනප්‍රිය maul ක්‍රමය සාර්ථක කර ගැනීමට මෙන්ම ප්‍රතිවාදීන් හමුවේ සවිමත් ආරක්ෂණයක් යෙදීමට රාජකීයයන්ට හැකියාව ලැබුණා.

  1. Flanker – තරිඳු වේවැලපන්ඩිත් – ඉසිපතන විද්‍යාලය

Line-Out ක්‍රියාවලියේ දී මෙන්ම තරගයේ දී ඉතාමත් ශක්තිමත් ලෙස පන්දුව රැගෙන යාම, ප්‍රතිවාදීන්ගේ ප්‍රහාර මැඩලීමේ ඇති හැකියාව නිසා තරිඳු ඉසිපතනයේ ක්‍රියාකාරීම ක්‍රීඩකයෙක් වුනා. ඔහු ඒ බව සනාථ කළේ අවසන් මහා තරගයේ දී NDB තරගයේ වීරයා සම්මානය ද දිනා ගනිමින්.

  1. Flanker – සචින්තන වෛද්‍යනාත – සාන්ත ජෝසප් විද්‍යාලය

 සාන්ත ජෝසප් විද්‍යාලයේ ඉදිරිපෙළ දක්ෂතා ගැන කතා කිරීමේ දී බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණේ නවීන් මාරසිංහ හට වූවත්, එය තමාගේ දෙසට හරවා ගැනීමට සචින්තන සමත් වුනේ ලීගයේ ඔහු දැක්වූ දක්ෂ ක්‍රීඩා විලාශය හේතුවෙන්. ප්‍රතිවාදි ප්‍රහාර නැවැත්වීමේ දී සාන්ත ජෝසප් විද්‍යාලයේ සාර්ථකත්වයට ඔහුගේ සහය මනා ලෙස ලැබුණු අතර Line-out ක්‍රියාවලියේ දී ද ආදේශක ක්‍රීඩකයෙක් ලෙස යොදා ගැනීමට ද හැකි වීම ඔහු සතු විශේෂත්වයක්.

  1. No. 8 – නවීන් මාරසිංහ – සාන්ත ජෝසප් විද්‍යාලය

 තරගාවලියේ වැඩිම උත්සාහක දිනුම් වාර්තා කිරීමට සමත් වූ ක්‍රීඩක නවීන් මාරසිංහ උත්සාහක දිනුම් 6ක් වාර්තා කළේ ජෝසප්වරුන්ට ඔවුන්ගේ මෙවර තරගාවලියේ හොඳම සොයා ගැනීම බවට පත්වෙමින්. ශක්තිමත් ශරීරයකින් හෙබි නවීන් වේගවත් මෙන්ම දක්ෂ පන්දු පාලනයකින් යුතු ක්‍රීඩකයෙක් වන නිසාවෙන්ම ප්‍රතිවාදීන්ට ඔහුව නැවැත්වීමට ඉතාමත් අසීරු කාර්යයක් විය.

ගරු සඳහන් කිරීම – දහන් නිතින- ඉසිපතන විද්‍යාලය

  1. Scrum-Half – රිගේශ් මුරලිදරන්- වෙස්ලි විද්‍යාලය

 වෙස්ලි ක්‍රීඩක රීගේශ් හට මෙවර තරගාවලිය ඉතාමත් සාර්ථක තරගාවලියක් වුනා. ඔහු සතු වූ ක්‍රීඩා අවබෝධය හේතුවෙන් ප්‍රතිවාදී අන්තයේ ඇති හිස් අවකාශ ක්ෂණයකින් හඳුනා ගෙන තම නිවැරදි පන්දු යොමු කිරීම් හා ප්‍රවර්තන මගින් තරගයේ වේගය වෙස්ලි විද්‍යාලයට අවශ්‍ය අකාරයට පාලනය කිරීමට හැකියාව ලැබුණි.

ගරු සඳහන් කිරීම – රාජකීය විද්‍යාලයේ හංසක හිග්ගොඩ

  1. Fly – Half-සහන් කීර්තිසිරි – සාන්ත අන්තෝනී විද්‍යාලය

2022 රග්බි ලීගයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට මෙවර සාන්ත අන්තෝනි විද්‍යාල කණ්ඩායමේ සිටින දක්ෂතම ක්‍රීඩකයා ලෙස හඳුනා ගත හැකි සහන් කීර්තිසිරි සමත් වුනා. 50m කලාපයේ ඕනෑම ස්ථානයක සිට පන්දුව ප්‍රවර්තනය කරමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එක් කිරීමට හැකි කීර්තිසිරිගේ තවත් සහජ දක්ෂතාවයක් වන්නේ පාද දෙකෙන්ම සාර්ථක ලෙස ප්‍රවර්තන කිරීමට ඇති හැකියාවයි. වේගයෙන් දිවයාමේ හා මනා පන්දු පාලන හැකියාව ද කීර්තිසිරි සතු වීම නිසා ඔහු බොහෝ දක්ෂතා ඇති අංග සම්පූර්ණ Fly-half ක්‍රීඩකයෙක් ලෙස සඳහන් කළ හැකි.

ගරු සඳහන් කිරීම – යෙහාන් බුලත්සිංහල

  1. Wing – පසිඳු හෙශාන් – රාජකීය විද්‍යාලය

පසිඳු හෙශාන් හට මෙම කණ්ඩායමේ Left-wing  ස්ථානය හිමි වන්නේ ඔහු සතු වේගවත් දිවයාමේ හැකියාව හා අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඉදිරීපෙළ ක්‍රීඩකයන්ට වුවද ප්‍රහාර එල්ල කරන නිර්භය ක්‍රීඩා විලාශය නිසාවෙනුයි.

  1. Center – ටෙරාන් කරුණානායක – සාන්ත ජෝසප් විද්‍යාලය

 සාන්ත ජෝසප් විද්‍යාලයේ නායක ටෙරාන් සාන්ත ජෝසප් කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩකයෙක්. දෙවැනි Center ස්ථානයේ ක්‍රීඩා කළත් අපගේ අදහසට අනුව ඔහුව වඩාත්ම සුදුසු වන්නේ පළවැනි Center ස්ථානයටයි. එයට හේතුව වන්නේ ඔහු සතු ශක්තිමත් පන්දු රැගෙන යාමේ හැකියාව නිසාවෙනි. විශාල සිරුරක් සතු නොවුවත් ඔහුගේ කාය ශක්තිය නිසාවෙන් ප්‍රතිවාදීන්ට ඔහු නැවැත්වීම අසීරු කාර්යයක්.

  1. Center – කවීන් සසංග රාජකීය විද්‍යාලය – කණ්ඩායම් නායක

මෙම කණ්ඩායමේ නායක මෙන්ම දෙවැනි Center ක්‍රීඩකයා ද වන කවීන් මෙවර රාජකීය කණ්ඩායමේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්. Center ක්‍රීඩකයෙක් මෙන්ම Wing ක්‍රීඩකයෙක් ලෙස ද ප්‍රතිවාදි රැකවල් බිඳ දමමින් තරගාවලියේ උත්සාහක දිනුම් 5ක් වාර්තා කිරීමට හැකි වූයේ මනා තරග අවබෝධයක් තමන් සතු බව පෙන්වමින්. ඔහු සතුව පන්දු ප්‍රවර්තන හැකියාවක් ද පවතින අතර එය ඔහු ක්‍රීඩා කරන ඕනෑම කණ්ඩායමකට අතිරේක වාසියක්.

  1. Wing – රිනේශ් සිල්වා – ඉසිපතන විද්‍යාලය

ආරම්භයේ දී Fly-Half ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කළ රිනේශ් සිල්වා පසුව Wing ක්‍රීඩකයෙක් ලෙස එම  ස්ථානයට අනුගත විය. සිල්වා ඔහු සතු වේගය භාවිතා කරමින් ප්‍රතිවාදීන්ගේ රැකවල්වල දුර්වල ස්ථාන තුලින් දිව යාම නිසා ඕනෑම ප්‍රතිවාදි කණ්ඩායමකට සිල්වාගේ ක්‍රීඩා විලාශය හිසරදයක් ගෙන දෙන්නක්. ඉහළින් එන පන්දු  සාර්ථකව රැක ගැනීමට හැකි නිසාත්, ප්‍රතිපන්දු එල්ල කිරීමේ හැකියාව නිසාත් ඔහු කණ්ඩායමකට වටිනා ක්‍රීඩකයෙක්.

  1. Full-Back – තරූෂ ජයවීර – වෙස්ලි විද්‍යාලය

 වෙස්ලි විද්‍යාලයීය නායක ජයවීර මෙම කණ්ඩායමේ Full-back ක්‍රීඩකයා මෙන්ම පසුපෙළ අවසන් ක්‍රීඩකයා ලෙස තෝරාගෙන තිබෙනවා. තරමක් උස මනාව වැඩුණු සිරුරක් සහිත ජයවීරගේ පාද පන්දු ප්‍රදානය මගින් එල්ල කරන ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශය ඉතාමත් ආකර්ශනීයයි. ප්‍රවර්තන සඳහා ඇති දක්ෂතාවයෙන් පිටියේ ග්‍රහණය තම කණ්ඩායම සතු කිරීමට ඔහු තුල හැකියාවක් පවතිනවා.

ThePapare.com තෝරපු මේ කණ්ඩායම ගැන ඔබේ අදහස මොකද්ද? පහළින් Comment කරන්න.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<