ඉසිපතනයේ “තෝරා” දඩයම සාර්ථකයි!

493
​Dialog schools rugby knock out Isipathana

Dialog අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද (02) හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුනා.

තරගය පැවැත්වුණේ ප්‍රබල ඉසිපතන විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතරයි. එහි දී ලකුණු 29-13ක් ලෙස පහසු ජයක් අත්කර ගනිමින් තම අපරාජිත කිරුල රැකගැනීමට ඉසිපතන විදුහල සමත් වුනා.

මේ වසරේ සාන්ත තෝමස් විදුහල සහ ඉසිපතන විදුහල උරෙනුර ගැටෙන පළමු තරගය මෙය වූ එහි දී ඉසිපතනය තම ලීග් අත්දැකීම් ද බහුලව යොදා ගනිමින් තරගයේ වාසිය තමන් සන්තකයේ තබා ගැනීමට සමත් වුනා.

ඉතා හොඳින් තරගයට අවතීර්ණ වූ සාන්ත තෝමස් ක්‍රීඩකයින් ඉතා හොඳින් පිටිය ආක්‍රමණය කරන ආකාරයක් පෙන්නුම් කළා. 11 වැනි විනාඩියේ දී ඉසිපතන ක්‍රීඩකයෙකු “RUCK” අවස්ථාවක දී කළ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් විනිසුරු ඉෂංක සාන්ත තෝමස් කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දුන්නා.

එයින් මනා ප්‍රයෝජන ගත් සාන්ත තෝමස් ක්‍රීඩක යෙහාන් බුලත්සිංහලගේ තම කණ්ඩායමට වටිනා ලකුණු තුනක් රැස්කර දුන්නේ තරගයේ පීඩනය ඉසිපතනය දෙස හරවමින්. (ඉසිපතන 00 – 03 සාන්ත තෝමස්)

අධික උෂ්ණත්ව තත්වයක් යටතේ පැවැත්වූ මෙම තරගය කණ්ඩායම් දෙකේම ශාරීරික යෝග්‍යතාවයට විශාල අභියෝගයක් වුනා. නමුත් ඉසිපතන විදුහල් කණ්ඩායම එම අභියෝගවලට හොඳින් මුහුණ දෙමින් ක්‍රීඩා කළ ආකාරයක් පෙන්නුම් කළා.

තරගයේ රිද්මය ඉහළින්ම පවත්වා ගෙන ක්‍රීඩා කළ ඉසිපතන ක්‍රීඩකයින් සාන්ත තෝමස් ක්‍රීඩකයින්ගේ දුර්වල ශාරීරික යෝග්‍යතාවයෙන් මනා ප්‍රයෝජන ගනිමින් ක්‍රීඩා කළා.

16 වැනි විනාඩියේ දී තම පසුපෙළ තාක්ෂණය ඉතා හොඳින් උපයෝගී කරගනිමින් ක්‍රීඩා කළ ඉසිපතන ක්‍රීඩක චමිඳු චිරත් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළා. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (ඉසිපතන 05 – 03 සාන්ත තෝමස්)

ඉන්පසුව තරගය තරමක් මන්දගාමී වූ අතර පන්දුව කණ්ඩායම් දෙක අතර දෝලනය වෙමින් තිබුණා. නමුත් 21 වැනි විනාඩියේ දී සාන්ත තෝමස් ක්‍රීඩකයෙකු අනාරක්ෂිත ලෙස ක්‍රීඩකයෙකු මෙල්ල කිරීමේ වරදට ඉසිපතන විදුහලට දඬුවම් පහරක් ලැබුණු අතර එයින් ලකුණු තුනක් ලබා ගැනීමට රිනේෂ් සිල්වා සමත් වුනා. (ඉසිපතන 08 – 03 සාන්ත තෝමස්)

එසේම 25 වැනි විනාඩියේ දී සාන්ත තෝමස් ක්‍රීඩකයෙකු අතින් සිදු වූ පන්දුව හැසිරවීමේ දෝෂයක් තමන්ගේ වාසියට හරවා ගනිමින් ක්‍රියාත්මක වූ රිනේෂ් සිල්වා සාන්ත තෝමස් ආරක්ෂණය විනිවිද යමින් පහසු උත්සාහක දිනුමක් වාර්තා කළා. එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගනිමින් අතිරේක ලකුණු දෙක ද එක් කිරීමට ඔහු සමත් වුනා. (ඉසිපතන 15 – 03 සාන්ත තෝමස්)

එයට පිළිතුරු වශයෙන් නැවතත් ඉසිපතන ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමකින් සාන්ත තෝමස් කණ්ඩායමට 29 වැනි විනාඩියේ දී දඬුවම් පහරක් හිමි වූ අතර එහි ලකුණු තුන ලබා ගැනීමට යෙහාන් බුලත්සිංහලගේ සමත් වුනා. (ඉසිපතන 15 – 06 සාන්ත තෝමස්)

ඒත් සමඟින් 33 වැනි විනාඩියේ දී ඉසිපතන ක්‍රීඩකයින් පිටිය ආක්‍රමණය කරමින් ඉදිරියට ඇදුණ අතර සාන්ත තෝමස් ආරක්ෂණය බිඳ හෙළමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සූර්ය දොඩන්ගොඩ සමත් වුනා. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට මලිත් මිහිසරට හැකි වුනා. (ඉසිපතන 22 – 06 සාන්ත තෝමස්)

පළමු අර්ධය: ඉසිපතන විදුහල 22 – 06 සාන්ත තෝමස් විදුහල

දෙවැනි අර්ධය ආරම්භ වුවත් සාන්ත තෝමස් ක්‍රීඩකයින් ඉතා මන්දගාමිබවක් පෙන්නුම් කළ අතර ඉසිපතන ක්‍රීඩකයින් තරගයේ වේගය ඉතා ඉහළින් තබා ගෙන ක්‍රීඩා කළ ආකාරයක් පෙන්නුම් කළා.

40 වැනි විනාඩියේ දී ඉසිපතන පසුපෙළ ක්‍රියාත්මක වෙමින් පන්දුව ඉතා හොඳින් දෝලනය කළ අතර ඉසිපතන නායක ප්‍රවීන් ස්ටෙෆාන් පහසු උත්සාහක දිනුමක් වාර්තා කළේ සාන්ත තෝමස් ක්‍රීඩකයින් තවත් පීඩනයට ලක් කරමින්. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මලිත් මිහිසරට හැකි වුනා. (ඉසිපතන 29 – 06 සාන්ත තෝමස්)

නමුත් තරගයේ රිද්මයට හැඩ ගැසීමට අසීරු අන්දමින් ක්‍රීඩා කළ සාන්ත තෝමස් ක්‍රීඩකයින් 61 වැනි විනාඩියේ දී සාන්ත තෝමස් විදුහලේ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට PROP ක්‍රීඩක හකීම් සමත් වුනා. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට යෙහාන් බුලත්සිංහලගේ සමත් වුනා. (ඉසිපතන 29 – 13 සාන්ත තෝමස්)

තරගයේ අවසන් විනාඩි 9 ඉතා මන්දගාමී වූ අතර සාන්ත තෝමස් ක්‍රීඩකයින් ලකුණු රැස්කර ගැනීමට උත්සුක වූ ආකාරයක් ද පෙන්නුම් කළේ නැහැ. විනිසුරු තරග අවසන් කිරීමේ සංඥාව නිකුත් වන මොහොතේ ලකුණු පුවරුව 29-13ක් වශයෙන් ඉසිපතනයේ ජය සනිටුහන් කළේ ඉසිපතනය අපරාජිතභාවය සහ තවත් අවසන් මහා තරගයකට මග සකසමින්.

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විදුහල 29 (4T,3C,1P) – 13 (1T,1C,2P) සාන්ත තෝමස් විදුහල

ලකුණු ලාභීන්:

  • ඉසිපතන – චමිඳු චිරත් (1T), රිනේෂ් සිල්වා (1T,1C,1P), සූර්ය දොඩන්ගොඩ (1T), ප්‍රවීන් ස්ටෙෆාන් (1T), මලිත් මිහිසරට (2C)
  • සාන්ත තෝමස් – හකීම් (1T), යෙහාන් බුලත්සිංහලගේ (2P,1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<