වෙස්ලි – සාන්ත ජෝසප් අවසන් පූර්ව වටයට!

488
Dialog schools rugby

Dialog අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තෙවැනි සහ සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරග අද (28) දිනයේ රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී සහ හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී පැවැත්වුනා.

එහි දී තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස මරදාන සාන්ත ජෝසප් විදුහල සහ මහනුවර සාන්ත අන්තෝනි විදුහල ක්‍රීඩා කළ අතර සිව්වැනි තරගය පැවැත්වුණේ වෙස්ලි විදුහල සහ ගල්කිස්ස විද්‍යා විදුහල අතරයි.

සාන්ත ජෝසප් විදුහල සහ සාන්ත අන්තෝනි විදුහල

මේ තරගයෙන් ලකුණු 34-14ක් වශයෙන් ජයග්‍රහණය අත්කර ගැනීමට සාන්ත ජෝසප් විදුහල සමත් වුනා.

6 වැනි විනාඩියේ දී සාන්ත ජෝසප් ක්‍රීඩක නවීන් මාරසිංහ සාන්ත අන්තෝනි ආරක්ෂණය විනිවිද යමින් පහසු ජයක් අත්කර ගත් අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට දිල්හාර සුභාෂ් සමත් වුනා. (සාන්ත ජෝසප් 07 – 00 සාන්ත අන්තෝනි)

ඉන්පසු සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ඉතා හොඳින් තරගය ආක්‍රමණය කිරීමට උත්සුක වූ අතර ලැබුණු දඬුවම් අවස්ථාවක් හොඳින් ප්‍රයෝජනයට ගනිමින් ඉක්මන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට M. S. පෙරේරා සමත් වුනා. එහි ප්‍රවර්තනයේ ලකුණු දෙක ලබා ගන්නට සහන් කීර්තිසිරිට හැකි වුනා. (සාන්ත ජෝසප් 07 – 07 සාන්ත අන්තෝනි)

නමුත් 24 වැනි විනාඩියේ දී ආක්‍රමණය තමන් අතට ගනිමින් සාන්ත ජෝසප් ක්‍රීඩක දේශාන් තාරුක පහසු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (සාන්ත ජෝසප් 12 – 07 සාන්ත අන්තෝනි)

සාන්ත අන්තෝනි ආරක්ෂණය බිඳහෙලමින් 29 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ සචින්තන විද්‍යාන තවත් උත්සාහක දිනුමක් තම කණ්ඩායමට එක් කරද්දී, එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට දිල්හාර සුභාෂ්ට හැකි වුනා. (සාන්ත ජෝසප් 19 – 07 සාන්ත අන්තෝනි)

33 වැනි විනාඩියේ දී සාන්ත අන්තෝනි ක්‍රීඩකයෙකු තම උත්සාහක දිනුම් සීමාව තුල පන්දුව පතිත කිරීමෙන් පසුව පන්දුව ලබා ගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයෙකු එම පන්දුව නැවතත් බිම පතිත කළ අවස්ථාවේ දී ක්‍රීඩකයින්, ප්‍රේක්ෂකයින් සහ විස්තර විචාරකයින් සියලු දෙනාම මවිත කරමින් විනිසුරු සාන්ත ජෝසප් කණ්ඩායමට උත්සාහක දිනුමක් ප්‍රදානය කළා. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (සාන්ත ජෝසප් 26 – 07 සාන්ත අන්තෝනි)

පළමු අර්ධය: සාන්ත ජෝසප් විදුහල 26 – 07 සාන්ත අන්තෝනි විදුහල

දෙවැනි අර්ධය ආරම්භ වූ විගස අන්තෝනි ක්‍රීඩකයින් අතින් සිදු වූ වැරදීමකට විනිසුරු සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් ලබා දුන් අතර එයින් මනා ප්‍රයෝජන ගත් දිල්හාර සුභාෂ් එම ලකුණු තුන කණ්ඩායමට එක් කිරීමට සමත් වුනා. (සාන්ත ජෝසප් 29 – 07 සාන්ත අන්තෝනි)

ඒ විගස ක්‍රියාත්මක වූ M. S. පෙරේරා සාන්ත අන්තෝනි කණ්ඩායම වෙනුවෙන් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළේ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් මංමුලා කරමින්. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සහන් කීර්තිසිරි සමත් වුනා. (සාන්ත ජෝසප් 29 – 14 සාන්ත අන්තෝනි)

නමුත් සාන්ත අන්තෝනි කණ්ඩායමේ ජයග්‍රහණයේ සිහින බොඳ කරමින් රන්දික දහන්ජය 58 වැනි විනාඩියේ දී තම උපරිම වේගය භාවිතා කරමින් උත්සාහක දිනුමක් වාර්තා කළා. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (සාන්ත ජෝසප් 34 – 14 සාන්ත අන්තෝනි)

  • NDB තරගයේ වීරයා විහඟ රන්දීප

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විදුහල (5T 3C 1P) 34 – 14 (2C, 2T) සාන්ත අන්තෝනි

ලකුණු ලාභීන්:

  • සාන්ත ජෝසප් – නවීන් මාරසිංහ (1T), දේශන් තාරුක (2T), සචින්තන විද්‍යාන (1T), රන්දික දහන්ජය (1T), දිල්හාර සුභාෂ් (3C, 1P)
  • සාන්ත අන්තෝනි – M. S. පෙරේරා (2C, 2T)

වෙස්ලි විදුහල සහ විද්‍යා විදුහල

සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගය ලෙස වෙස්ලි විදුහල සහ විද්‍යා විදුහල ක්‍රීඩා කළ අතර එහි දී ලකුණු 38-00ක් ලෙස පහසු ජයක් අත්කර ගන්නට වෙස්ලි විදුහල සමත් වුනා. තරගය පැවැත්වුණේ හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී.

තරගය ආරම්භ වී පළමු විනාඩි 20 තුල දී කණ්ඩායම් දෙකම ඉතා මන්දගාමී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ අතර කණ්ඩායම් දෙකෙන්ම අත්වැරදීම් විශාල ප්‍රමාණයක් සිදුවීම කැපී පෙනුණා.

නමුත් වෙස්ලි පසුපෙළ ක්‍රීඩක මලීෂ තිරාණගම 23 වැනි විනාඩියේ දී පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක වුනා. (වෙස්ලි විදුහල 05-00 විද්‍යා විදුහල)

පළමු අර්ධය: වෙස්ලි විදුහල 05-00 විද්‍යා විදුහල

දෙවැනි අර්ධය ආරම්භ වුවත් කණ්ඩායම් දෙකේ මන්දගාමීභාවය ඉතා හොඳින් දිස්වුනා.

නමුත් 43 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ වෙස්ලි ක්‍රීඩක ෂේන් හොප්වුඩ් සීමා මායිම් අසලින් දිවයමින් අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළා. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (වෙස්ලි විදුහල 10-00 විද්‍යා විදුහල)

විද්‍යා ආරක්ෂණයට පිට පිට පහර එල්ල කල වෙස්ලි ක්‍රීඩකයින් 46 වැනි විනාඩියේ දී හාෆිස් තබීත්ගේ වේගයෙන් මනා ප්‍රයෝජන ගමින් තවත් පහසු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ශවීන් ජයවර්ධන සමත් වුනා. (වෙස්ලි විදුහල 17-00 විද්‍යා විදුහල)

57 වැනි විනාඩියේ දී වෙස්ලි FLANKER ක්‍රීඩක චමෝද් නිම්සර තම දේහ ශක්තිය විදහා පාමින් පහසු උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වුනා. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ශවීන් ජයවර්ධන සමත් වුනා. (වෙස්ලි විදුහල 24-00 විද්‍යා විදුහල)

64 වැනි විනාඩියේ දී නැවතත් ක්‍රියාත්මක වූ ෂේන් හොප්වූඩ් තම කණ්ඩායම වෙනුවෙන් තවත් පහසු උත්සාහක දිනුමක් වාර්තා කරමින් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සමත් වුනා. (වෙස්ලි විදුහල 31-00 විද්‍යා විදුහල)

තරගයේ අවසන් විනාඩියේ දී වෙස්ලි නායක තරුෂ ජයවීර තම කණ්ඩායම වෙනුවෙන් වේගවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ විද්‍යා විදුහලේ පරාජය සනිටුහන් කරමින්. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට ෂේන් හොප්වූඩ් සමත් වුනා. (වෙස්ලි විදුහල 38-00 විද්‍යා විදුහල)

  • NDB තරගයේ වීරයා ෂේන් හොප්වුඩ්

අවසන් ලකුණු තත්වය: වෙස්ලි විදුහල (6T 4C) 38 – 00 විද්‍යා විදුහල

ලකුණු ලාභීන්:

  • වෙස්ලි – මලීෂ තිරාණගම (1T), ෂේන් හොප්වුඩ් (2T, 2C), හාෆිස් තාබීත් (1T), චමෝද් නිම්සර (1T), තරුෂ ජයවීර (1T), ශවීන් ජයවර්ධන (2C)

අද දිනයේ දී ජයග්‍රහණ කළ වෙස්ලි විදුහල සහ සාන්ත ජෝසප් විදුහල එළඹෙන සති අන්තයේ දී Dialog අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<