එංගලන්ත අභියෝගය ජය ගතහොත් සියලු දෝෂ නිවාරණයි

234
Sri Lanka team departure to England

ක්‍රිකට්‌ සංක්‍රාන්ති සමයක කප්පරක්‌ සැලසුම් සහ අදහස්‌ මතින් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නැමැති රථය පිම්මේ දුවන්නට සැරසෙන හැඩකි.

එහෙත් මේ රේස්‌ එකේ ආරම්භය සාර්ථක කර ගන්නටනම් එංගලන්තයට පියාසර කර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ අතපය දිග හැර එංගලන්තයට පහර දිය යුතුය.

මීළඟ එක්‌දින ක්‍රිකට්‌ ලෝක කුසලානයට හොඳින් පදම්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙවර තරගාවලියේදී එංගලන්ත භූමිය තෝතැන්නක්‌ කර ගත යුතුවේ. ක්‍රිකට්‌ වලින් සියලු දේට පසුගිය කාලයේ කණ්‌ඩායම හුරු වුවත් දේශගුණයේ බාධාව දරා ගැනීමට ඔවුන් වෙනම සටනක්‌ දියත් කළ යුතුවේ. මේ පිළිබඳව කණ්‌ඩායම් උපනායක දිනේෂ් චන්දිමාල්ද පවසන්නේ, “අපි දේශගුණයේ අභියෝගයට හැර අනිත් සියලු දේට හොඳින් ලෑස්‌තියි.” යනුවෙනි. නමුත් දේශගුණයත් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ එක්‌ පැතිකඩකි.

2014 දී ශ්‍රී ලංකාව එංගලන්තයට ගොස්‌ ටෙස්‌ට්‌ මෙන්ම එක්‌දින තරගාවලියද දිනා ගත්තේය. ඒ කණ්‌ඩායමේ සිටි ක්‍රීඩකයන් කීප දෙනෙකු හැරෙන්නට බොහෝ දෙනා එංගලන්තයේ තණතීරු ගැන මෙන්ම දේශගුණයට ඉක්‌මනින් හුරුවීමට හැකියාව ඇත්තෝය. ඒ නිසා කුමන බාධාව ආවත් මෙවර සංචාරය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත්නොහැරිය හැකි වටපිටාවක්‌ සකස්‌වී තිබේ.

එංගලන්තයට ගිය කණ්‌ඩායම පිළිබඳව වගකීම වත්මන් ක්‍රිකට්‌ තේරීම් කමිටුවට සම්පූර්ණයෙන් භාර ගත නොහැකිය. ඔවුන් නිල වශයෙන් වැඩ භාර ගත්තේ කණ්‌ඩායම පිටත්ව යැමට දින හතරකට පෙරය. එබැවින් තේරීම් කමිටුවට මෙවර වැල යන අතට මැස්‌ස හරියට ගසනවා හැරෙන්නටවෙන කළ හැකි මහ දෙයක්‌ නොවීය.

සනත් ජයසුරිය තේරීමට වඩා කණ්‌ඩායමට අවශ්‍ය සංයුතිය හොඳින්ම දන්නා අයෙකි. රොමේෂ් කළුවිතාරණ ශ්‍රී ලංකා “ඒ” කණ්‌ඩායමේ වසර පහකට වැඩි කාලයක්‌ පුහුණූකරුවාය. කණ්‌ඩායමේ සිටින බොහෝ ක්‍රීඩකයන් නවකයන් ලෙස හැදින් වුවත් ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ ප්‍රමාණවත් අත්දැකීම් ඇත. එබැවින් ජයග්‍රහණයේ ශක්‌තිය ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එංගලන්තයේදී සමත් වුවහොත් මෙරට ක්‍රිකට්‌ සාර්ථක ගමනකට පියවර තබනු නිසැකය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ජය පිට ජය ලබන විට බොහෝ ප්‍රශ්න ජයග්‍රහණයට යටපත්වීම ඉතිහාසයේ සිට අප දැක ඇත්තෙමු. එවිට පුහුණුකරුවන්ගේ ප්‍රශ්න හෝ කණ්‌ඩායමේ වෙනත් ප්‍රශ්න ඇතත් නැතත් සියල්ලෝම සතුටු වූහ. ප්‍රේක්‍ෂකයන් මද රටක්‌ ලෙස ක්‍රිකට්‌ ගැන උජාරුවෙන් කතා කරන්නට ඒ ජයග්‍රහණය නිරායාසයෙන්ම නිමිත්තක්‌ විය. නමුත් පරදින විට නැති ප්‍රශ්නත් එළියට එයි. එවිට ක්‍රිකට්‌ ලොක්‌කන්ටද ඉස්‌පාසුවක්‌ ඇත්තේම නැත.

පසුගිය සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ මහ ලොකු වටමෙස සාකච්ඡාවක්‌ පැවැත්වුණි. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපතිවරයා ඇතුළු ක්‍රිකට්‌ කරවන ප්‍රධානීහු අලුත් වැඩ සහ වැටී තිබෙන වලෙන් ගොඩ ඒමේ සැලසුම් ඒ රැස්‌වීමේදී ගැඹුරින් කතා බස්‌ කළහ. සවස තුනට පමණ ඇරඹි මේ රැස්‌වීම ඇදි ඇදී ගොස්‌ රාත්‍රි නවයට පමණ අහවර විය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ මූල්‍ය පද්ධතිය හුලං ගිය බයිසිකලයක්‌ මෙනි. ඒ බයිසිකලයෙන් රේස්‌ පදින්නට ගියොත් පදින එකා මෙන්ම බයිසිකලයටද දෙයියන්ගේම පිහිට මිස වෙන කුමන සරණක්‌දැයි අපි අමුතුවෙන් කිවයුතු නැත. සාක්‌කුවලට ඉස්‌තරම්ම වැටුප් හිමිවන ක්‍රිකට්‌ ආයතනයේ බහුතර සේවකයන්ට දැන් ඒ පඩියෙන් පල්ලෙහාට බහින්නට අකමැතිය. ඔවුන් ඒ රසයට හුරු වී හමාරය. කෙසේ වෙතත් සමහරුන් ඉලක්‌කම් හයේ පඩියෙන් තරවෙද්දී තවත් සමහරෙක්‌ ඉලක්‌කන් පහේ පඩියෙන් ජීවන ගමනෙහි යති. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ යනු සල්ලි ගලා එන උල්පතකි. එහෙත් වගේ වගක්‌ නැති බහිරවයන් පිරිසක්‌ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට දැන් ඇත්තේ මුදල් අහේනියකි. මෙය පසුගිය වසර කිහිපය පුරාවටම වර්ධනය වුවකි.

තිලංග සුමතිපාල මහතා පළමුව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සභාපති ධුරයට පත්වන කාලයේ තත්ත්වය සහ ඔහු දැන් එම රාජකාරිය කරවන වකවානුව අතර ඇති වෙනස අහසට පොළව මෙනි. නමුත් එදා ක්‍රිකට්‌ ජනප්‍රිය විය. මුදල් වලින් මෙතරම් අහේනියක්‌ නොතිබුණි. ක්‍රිකට්‌ ක්‍රීකයෝද පොකුරු පිටින් වැඩ දැමීමට එදා සමත් වූහ. නමුත් අද සියල්ලම උඩි යටිකුරු වී තිබේ.

පරාජයේ අදුරු සෙවනැලි මැදින් එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායම කොන්ත්‍රාත්තුව අත්සන් කළේ තරගයට පිටත්වන දිනයේදීය. තමන්ට ලැබෙන කොන්ත්‍රාත්තුව කුමක්‌ වුවත් ඔවුන් දැන් එය අත්සන් කරයි. ඒ ක්‍රීඩකයන්ට දෙයක්‌ ඉල්ලීමට තරම් ඔවුන් පසුගිය කාලයේ වැඩ දමා නොසිටීම විය හැකිය. නමුත් එංගලන්ත සංචාරයේදී මේ සේරම ප්‍රශ්න විස¹ ගැනීමට ඇන්ජලෝ මැතිව්ස්‌ ප්‍රමුඛ පිරිවර හරි පාරේ නියම පිළිවෙලට ගමන් කළ යුතුය. ඒ සඳහා ඔවුන්ට ජයග්‍රහණය තුරුළු කර ගැනීමට හැකි ශක්‌තිය සහ වාසනාවද ඇතැයි අපි විශ්වාස කරමු.

තිලංග සුමතිපාල මහතා පසුගියදා ශ්‍රී ලංකා “ඒ” කණ්‌ඩායමටද අනුග්‍රහකත්වයක්‌ සොයා ගත්තේය. ඒ ඉන්දියානු ඔයිල් සමාගමකි. වසර තිහකට අධික ඉතිහාසයක්‌ ඇති එම ආයතනය පළමු වරට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට අනුග්‍රහකත්වය ලබා දුන්නේය. ඒ සුමතිපාල මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරීන්ගේ දක්‍ෂතාව වේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට හෝ පුහුණුකරුවන්ට, තේරීම් කමිටුවට මාධ්‍ය ඇමතීමට වෙනම අවසරයක්‌ ගත යුතුය. නමුත් එම ක්‍රමය ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට තිබෙන ප්‍රශ්න හෝ ඇතිවීමට ඉඩ ඇති ප්‍රශ්න සඟවා තබා ගැනීමට නියම විසඳුමකි. වැරදි දේ ගිරවා වගේ කියන ඇත්තෝ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සිටිති. එවුන් කට ඇරියොත් කාට හෝ ප්‍රශ්නයකි. ඒ නිසා මේ ක්‍රමය හොඳ යෑයි තවකෙකු සිතන්නට පුළුවන. නමුත් ඕනෑම දෙයක්‌ විවේචනය කරන්නට නිදහස ඇති විට බොහෝ ප්‍රශ්න වලට විසඳුමද එය වනු ඇත.