ඉසිපතන ශූරයෝ ජෝසප්වරුන් පරාජය කරයි

607

අපරාජිත කිරුළ හිමි ප්‍රබල ඉසිපතනය සහ මරදාන සාන්ත ජෝසප් විදුහල අතර පැවති Dialog අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය අද (11) රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී නිමා වුනේ 49-22ක් ලෙස ඉසිපතනය ශූරතාවය ජයග්‍රහණය කරමින්.

තරගාරම්භයේ සිට පිටිය ආක්‍රමණය කරමින් ක්‍රීඩා කළ ඉසිපතන කණ්ඩායම තරගයේ පීඩනය සාන්ත ජෝසප් කණ්ඩායම දෙසට හරවමින් ක්‍රීඩා කළ අතර 4 වැනි විනාඩියේ දී “Off Side” නීතියට වැරදිකරු කරමින් විනිසුරු ඉෂංක ඉසිපතනය වෙත දඬුවම් පහරක් ප්‍රදානය කළා. නමුත් ඉසිපතන ක්‍රීඩක රිනේෂ් සිල්වාගේ ප්‍රවර්තනය අසාර්ථක වුනා.

8 වැනි විනාඩියේ දී සාන්ත ජෝසප් ක්‍රීඩකයින් නැවතත් “Off Side” නීතියට වැරදිකරු වූ අතර ඉසිපතන කණ්ඩායමට තවත් දඬුවම් පහරක් හිමි වුනා. එය සාර්ථක කරගනිමින් ඉසිපතනයේ පළමු ලකුණු තුන වාර්තා කරන්නට මලිත් මිහිසර සමත් වුනා. (ඉසිපතන 03 – 00 සාන්ත ජෝසප්)

නැවතත් තරගයේ ආක්‍රමණය තමන් අතට ගනිමින් ඉසිපතන 2nd row ක්‍රීඩක කෙනුල මිහිසර තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ගේ ආරක්ෂණය සුනුවිසුනු කරමින්. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට මිහිසර සමත් වුනා. (ඉසිපතන 10 – 00 සාන්ත ජෝසප්)

22 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ ඉසිපතන ක්‍රීඩක නවීන් කනිෂ්ක දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද මිහිසර විසින් සාර්ථක කරගත්තා. (ඉසිපතන 17 – 00 සාන්ත ජෝසප්)

ඒ අතරවාරයේ දී ක්‍රීඩකයෙකු අනාරක්ෂිකව මෙල්ල කිරීමේ වරදට විනිසුරු සාන්ත ජෝසප් කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දුන් අතර එය සාර්ථක වුනේ නැහැ.

නමුත් 30 වැනි විනාඩියේ දී Ruck අවස්ථාවක දී සාන්ත ජෝසප් ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමකට ඉසිපතන කණ්ඩායමට දඬුවම් පහරක් හිමි වූ අතර එය සාර්ථක කරගනිමින් අතිරේක ලකුණු තුන එක්කර ගැනීමට මිහිසර සමත් වුනා. (ඉසිපතන 20 – 00 සාන්ත ජෝසප්)

35 වැනි විනාඩියේ දී ඉසිපතන ඉදිරිපෙළ ශක්තිය විදහා පාමින් වෙනුර කෝදාගොඩ අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කළා. එහි ප්‍රවර්තනයත් සාර්ථක කරගැනීමට මිහිසරට හැකි වුනා. (ඉසිපතන 27 – 00 සාන්ත ජෝසප්)

ප්‍රථම අර්ධය: ඉසිපතන විදුහල 27 – 00 සාන්ත ජෝසප් විදුහල

දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව ඉසිපතන ක්‍රීඩකයින් තරගයේ රිද්මයට අනුකූල වීමට අසීරු ආකාරයක් පෙන්නුම් කළා. එම අවස්ථාවෙන් මනා ප්‍රයෝජන ගත්  සාන්ත ජෝසප් ක්‍රීඩක නවීන් මාරසිංහ 40 වැනි විනාඩියේ දී සාන්ත ජෝසප් කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට දිල්හාර සුබාෂ් සමත් වුනා. (ඉසිපතන 27 – 07 සාන්ත ජෝසප්)

නැවතත් ඉසිපතනයේ ආරක්ෂණයට පිට පිට පහර එල්ල කළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් 43 වැනි විනාඩියේ දී නවීන් මාරසිංහගේ සහයෝගයත් ඇතිව තවත් උත්සාහක දිනුමක් වාර්තා කළා. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (ඉසිපතන 27 – 12 සාන්ත ජෝසප්)

ඉසිපතනයට පෙර උත්සාහක දිනුමෙන් යථා තත්වයට පත්වීමට කිසිදු අවසරයක් නොදෙමින් 46 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ සාන්ත ජෝසප් ක්‍රීඩක දිල්හාර සුබාෂ් සිය කණ්ඩායමට තවත් උත්සාහක දිනුමක් හා ප්‍රවර්තනයක් දිනා දුන්නා. (ඉසිපතන 27 – 19 සාන්ත ජෝසප්)

නමුත් ඉහත උත්සාහක දිනුම් තුනටම පිළිතුරු සපයමින් 54 වැනි විනාඩියේ දී ක්‍රියාත්මක වූ ඉසිපතන උපනායක ප්‍රවීන් ස්ටෙෆාන් වේගවත් ධාවනයක නිරත වෙමින් වේගවත් උත්සාහක දිනුමක් වාර්තා කළා. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (ඉසිපතන 32 – 19 සාන්ත ජෝසප්)

අනාරක්ෂිතව ක්‍රීඩකයෙකු මෙල්ල කිරීමේ වරදට සාන්ත ජෝසප් විදුහලට දඬුවම් පහරක් හිමි වූ අවස්ථාවේ දී එය සාර්ථක කර ගැනීමට රුචිත රුද්‍රිගු සමත් වුනා. (ඉසිපතන 32 – 22 සාන්ත ජෝසප්)

නැවතත් එයට පිළිතුරු සැපයූ ප්‍රවීන් ස්ටෙෆාන් 62 වැනි විනාඩියේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේ සාන්ත ජෝසප් ජයග්‍රහණයේ හීනවලට වැට බඳිමින්. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (ඉසිපතන 37 – 22 සාන්ත ජෝසප්)

64 වැනි විනාඩියේ දී ඉසිපතන Scrum Half ක්‍රීඩක සෙහන්දු ද කොස්තා පහසු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රිනේෂ් සිල්වා සමත් වුනා. (ඉසිපතන 44 – 22 සාන්ත ජෝසප්)

සාන්ත ජෝසප් ජයග්‍රාහී හීන සුනුවිසුනු කරමින් 69 වැනි විනාඩියේ දී වෑවල පණ්ඩිත් පහසු උත්සාහක දිනුමක් වාර්තා කළා. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (ඉසිපතන 49 – 22 සාන්ත ජෝසප්)

නියමිත කාලය අවසන් කරමින් සංඥා නාද වෙද්දී 49-22ක් ලෙස පෙරමුණේ සිටි ඉසිපතන ක්‍රීඩකයින් ජනාධිපති කුසලානය සිය පාසලට රැගෙන යන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විදුහල 49 (7T 4C 2P) – 22 (3T 2C 1P) සාන්ත ජෝසප් විදුහල

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්:

  • ඉසිපතන – කෙනුල මිහිසර (1T), නවීන් කනිෂ්ක (1T), වෙනුර කෝදාගොඩ (1T), ප්‍රවීන් ස්ටෙෆාන් (2T), සෙහන්දු ද කොස්තා (1T), වෑවල පණ්ඩිත් (1T), රිනේෂ් සිල්වා (1C), මලිත් මිහිසර (3C, 2P)
  • සාන්ත ජෝසප් – නවීන් මාරසිංහ (2T), දිල්හාර සුබාෂ් (1T, 2C), රුචිත රුද්‍රිගු (1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<