Premier කුසලානය අපරාජිත ඩී. එස්. සේනානායකයින්ට

Dialog අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය 2022

380

Dialog අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ Premier කුසලානය සඳහා වූ අවසන් මහා තරගය අද (09) කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මරදාන සහිරා විද්‍යාලය අතර කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී නිමාවට පත්වුනා.

එම තරගයෙන් සහිරා ක්‍රීඩකයින් ලකුණු 41-08ක් ලෙස පහසුවෙන් පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් සමත් වුනා.

තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙකෙන්ම හොඳ තරගකාරී ක්‍රීඩා විලාශයක් දක්නට ලැබුණු අතර 08 වැනි මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීම ඩී. එස්. ක්‍රීඩක ජී. උමගිලියගේට හැකි වුනා. (සහිරා 00-03 ඩී. එස්.)

තරගයේ පළවෙනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුනේ ඩී. එස්. ක්‍රීඩක ඩී. පීරිස් විසිනුයි. උත්සාහක දිනුම් සීමාව අසල දී ලද පන්දුවක් සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කරන්නට ඔහුට හැකි වුනා. නමුත් එම උත්සාහක දිනුමෙන් ලැබූ ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි වුනා. (සහිරා 00-08 ඩී. එස්.)

සහිරා ක්‍රීඩකයින්ට තවත් පීඩනයක් එල්ල කරමින් උත්සාහක සීමාව අසල දී ලබා ගත් පන්දුවක් ඉතා ඉක්මනින් ධවල රේඛාවෙන් එපිටට රැගෙන යන්නට ඩී. එස්. ක්‍රීඩක එස්. විජේසිංහට හැකි වුනා. (සහිරා 00-13 ඩී. එස්.)

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී ලැබුණු පහසු පන්දුවක් උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කරමින් ලකුණු පරතරය වැඩි කිරීමට උඩවත්තට හැකි වූ අතර එහි ප්‍රවර්තනය ද සී. රාජරත්න විසින් සාර්ථකව අවසන් කරන්නට සමත් වුනා. (සහිරා 00-20 ඩී. එස්.)

පළමු අර්ධය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 20 (3T,1C,1P) – 00  සහිරා විද්‍යාලය

පෙර අර්ධයේ ලබා ගත් රිද්මයෙන්ම දෙවැනි අර්ධයට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලය වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් රැස් කිරීමට ඒ. සෙනවිරත්න සමත් වුනා. එහි ප්‍රවර්තනය ද සාර්ථකව අවසන් කළේ රාජරත්න විසිනුයි. (සහිරා 00-27 ඩී. එස්.)

සහිරා ප්‍රේක්ෂකයන් තවත් නිහඬ කරමින් තවත් ලකුණු 5ක් රැස් කිරීමට ඩී. එස්. ක්‍රීඩක ඒ. බාලසූරියට හැකි වුනා. එහි ප්‍රවර්තනය ද රාජරත්න විසින් සාර්ථකව අවසන් කළා. (සහිරා 00-34 ඩී. එස්.)

සිය කණ්ඩායමට තරමක සහනයක් ගෙන දෙමින් තරගයේ පළමු ලකුණ වාර්තා කිරීමට සහිරා ක්‍රීඩක ඒ. ෆස්ලූන්ට හැකි වුනේ දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කරගනිමිනුයි. (සහිරා 03-34 ඩී. එස්.)

සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට ඩී. එස්. ක්‍රීඩක විජේසිංහට හැකි වෙද්දී එහි ප්‍රවර්තනය ද සාර්ථකව අවසන් කරමින් ලකුණු පරතරය වැඩි කිරීමට රාජරත්න සමත් වුනා. (සහිරා 00-41 ඩී. එස්.)

තරගය අවසන් වීමට කෙටි වේලාවක් ඉතිරිව තිබිය දී සිය කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සහිරා ක්‍රීඩක එම්. ශහීෆ්ට හැකි වූවත්, එය අවසන් ප්‍රතිඵලය වෙනසක් කිරීමට ප්‍රමාණවත් වුනේ නැහැ.

ඒ අනුව ලකුණු 41-08ක් ලෙස ඉතා පහසු ලෙස ජයග්‍රහණයක් ලබා ගනිමින් Premier කුසලානය සිය පාසලට රැගෙන යන්නට ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 41 (6T, 1P, 4C) – 08 (1T, 1P)  සහිරා විද්‍යාලය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්,

  • ඩී. එස්.: ජි. උමගිලියගේ (1P), ඩී. පීරිස් (1T), එස්. විජේසිංහ (2T), උඩවත්ත (1T), ඒ. සෙනවිරත්න (1T), ඒ. බාලසූරිය (1T), සී. රාජරත්න (4C)
  • සහිරා: ඒ. ෆස්ලූන් (1P), එම්. ශහීෆ් (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<