ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීමේ දෙවැනි අදියර දියගම දී

දෙවැනි මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය 2022

194

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට ඉතා කාර්ය බහුල වසරක් වන 2022 වසරේ පැවැත්වෙන දෙවැනි ජාතික මලල තරගාවලිය වන දෙවැනි මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය මෙම සතියේ දී පැවැත්වීමට නියමිතයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී මෙම මස 10 සහ 11 යන දිනවල දී තුළ මෙම තරගාවලිය පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුනත්, පසුව තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයට ගෙන යාමට මලල ක්‍රීඩා සංගමය තීරණය කළා.

දියගම ක්‍රීඩාංගණයේ ධාවන පථයේ සිදු කළ අලුත්වැඩියාවක් නිසාවෙන් පසුගිය වසර කිහිපයේ එම ක්‍රීඩාංගණයේ තරග නොපැවැත්වූ අතර අලුත්වැඩියාවෙන් පසුව පවත්වන පළමු තරගාවලිය මෙය වීම විශේෂත්වයක්.

මෙම වසරේ මලල ක්‍රීඩා පිටියේ පැවති පළමු තරගාවලිය වූ ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වූ පළමු තේරීම් තරගාවලිය පෙබරවාරි 10 සිට 12 දක්වා කොළඹ දී පැවති නමුත් විවිධ හේතූන් නිසාවෙන් එම තරගාවලියට ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම සහභාගී වුනේ නැහැ.

නමුත් එම තරගාවලියේ දී සාර්ථක දස්කම් දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වූ අතර කාන්තා රිටි පැනීමෙන් සහ කාන්තා දුර පැනීම ඉසව්වන්ගෙන් නව ජාතික වාර්තා පිහිටුවීමට සචිනි පෙරේරාට සහ සාරංගි ද සිල්වාට හැකි වුනා.

පළමු තේරීම් තරගාවලිය එසේ අවසන් වෙද්දී 100 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවයට පෙර පැවැත්වෙන අවසන් තරගාවලිය වන මෙම තරගාවලියට පළමු තේරීම් තරගාවලිය ක්‍රීඩා නොකළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද සහභාගී වීමට නියමිතයි.

තරගාවලියේ පළමු දිනය වන බ්‍රහස්පතින්දා (10) උදෑසන පිරිමි මීටර් 10,000 සහ කාන්තා මීටර් 5,000 අවසන් තරගවලින් තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇති අතර එදිනම උදෑසන කාන්තා සහ පිරිමි මීටර් 1500 අවසන් තරග සහ කාන්තා දුර පැනීම අවසන් තරග පැවැත්වීමට නියමිතයි.

එදින සවස් වරුව ඉතා උණුසුම් ස්වරූපයක් ගැනීමට නියමිත අතර කාන්තා සහ පිරිමි මීටර් 100, 400 සහ 100 X 4 යන වේගවත් ඉසව්වන්ගේ අවසන් තරග එදින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

දෙවැනි දිනය (11) උදෑසන පිරිමි මීටර් 5,000 සහ කාන්තා මීටර් 10,000 අවසන් තරගවලින් ආරම්භ වීමට නියමිත අතර එදින උදෑසන පසුගිය කාලසීමාවේ දිගින් දිගටම ජාතික වාර්තා පිහිටවූ කාන්තා රිටි පැනීමේ අවසන් තරග ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් දිනය වන එදින සවස් වරුවේ කාන්තා සහ පිරිමි මීටර් 200, 800, 110 කඩුලු පැනීම සහ 400 X 4 සහය දිවීම ඉසව්වල අවසන් තරග පැවැත්වීමෙන් අනතුරුව තරගාවලිය නිමාවට පත්වනවා.

ආසියානු ක්‍රීඩා උළෙල, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වැනි තරගාවලි රැසක් මෙම වසරේ පැවැත්වීමට නියමිතව ඇති නිසාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එයට සුදුසුකම් සපුරාලීමට සහ සිය රිද්මය ඉහළ නංවා ගැනීමට මෙම තරගාවලිය ඉතා වැදගත් වනු ඇත.

දෙවැනි මලල ක්‍රීඩා තේරීම් තරගාවලියේ තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<