ඉසිපතන, සහිරා, සාන්ත පීතර සහ DS අපරාජිතව ඉදිරියට

Dialog පාසල් රග්බි ලීගය 2023

1139

Dialog පාසල් රග්බි ලීගයේ තෙවැනි සතියේ තරග පසුගිය දා අවසන් වුනා. එම සතියේ පැවති තරගවලින් ජයග්‍රහණය ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ඉසිපතන, සාන්ත පීතර, රාජකීය, සහිරා, සාන්ත තෝමස් සහ ඩී. එස්. සේනානායක කණ්ඩායම්වලට හැකි වුනා.

ඉසිපතන විද්‍යාල සහ සාන්ත ජෝසප් විද්‍යාලය

CR&FC ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ලකුණු 28-18ක් ලෙස පරාජය කරමින් සිය අපරාජිකත්වය රැක ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩකයින්ට හැකි වුනා.

ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් ඉසිපතන ක්‍රීඩක හෂේන් රන්දිමාල් පළමු උත්සාහක දිනුම වාර්තා කරද්දී, ඉසිපතනය වෙනුවෙන් නවීන් මාරසිංහ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළා.

සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට පළමු අර්ධයේ යම් අස්වැසිල්ලක් ලබා දෙමින් උත්සාහක දිනුමක් වාර්තා කළේ Shahid Zumri විසිනුයි. එම අර්ධය තුළ සාන්ත ජෝසප් ක්‍රීඩක රුචිත රොද්‍රිගෝ ලබා ගත් දඬුවම් පහර නිසා ලකුණු 8-10ක් ලෙස තියුණු අර්ධයක් අවසන් කිරීමට ඔවුන්ට හැකි වුනා.

දෙවැනි අර්ධයේ දී කලිඳු ශෙනාල් වාර්තා කළ උත්සාහක දිනුම සහ රිනේෂ් සිල්වා ලබා ගත් දඬුවම් පහර ද්විත්වය නිසා සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට වඩා පෙරමුණ ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින්ට හැකි වුනා.

සිය කණ්ඩායමට තරමක බලාපොරොත්තුවක් ගෙන දෙමින් සාන්ත ජෝසප් ක්‍රීඩක විශික ප්‍රනාන්දු වාර්තා කළ උත්සාහක දිනුමෙන් ලැබූ ප්‍රවර්තන අවස්ථාව රුචිත රොද්‍රිගෝ සාර්ථකව අවසන් කළා.

නමුත් තරගයේ අවසන් භාගයේ උත්සාහක දිනුමක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය අමතර ප්‍රසාද ලකුණක් සමඟ තහවුරු කිරීමට ඉසිපතන නායක නවීන් කණිෂ්කට හැකි වුනා.

NDB තරගයේ වීරයා – නවීන් කනිෂ්ක (ඉසිපතන විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය : ඉසිපතන විද්‍යාලය 28 (2T 1C 2P) – 18 (4T 1C 2P) සාන්ත ජෝසප් විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්:

  • සාන්ත ජෝසප් විද්‍යාලය – නවීන් මාරසිංහ 1T, විශික ප්‍රනාන්දු 1T, රුචිත රොද්‍රිගෝ 1C 2
  • ඉසිපතන විද්‍යාලය – හෂේන් රන්දිමාල් 1T, Shahid Zumri 1T, කලිඳු ශෙනාල් 1T, නවීන් කනිෂ්ක 1T, රිනේෂ් සිල්වා 1C 2P.

වෙස්ලි විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය

තරගාවලියේ ලැබූ දෙවැනි ජයග්‍රහණය ලබා ගනිමින් වෙස්ලි ක්‍රීඩකයින් පරාජය කිරීමට පෙරළිකාර ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින්ට හැකි වුනේ ලකුණු 20-29ක් ලෙසයි.

තරගයේ පළමු ලකුණු දඬුවම් පහරකින් වෙස්ලි ක්‍රීඩකයින් වාර්තා කරද්දී, ඩී. එස්. නායක ජයතු රාජරත්න පළමු උත්සාහක දිනුම වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවා.

පළමු අර්ධය තුළ නැවත සාර්ථක වූ රාජරත්න තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එම උත්සාහක දිනුම සමඟ තරගයේ පළමු අර්ධය අවසන් වුනේ 12-03ක් ලෙස ඩී. එස්. ක්‍රීඩකයින්ට වැඩි වාසි හිමිවෙමිනුයි.

වෙස්ලි ක්‍රීඩකයින් තවත් අසරණ කරමින් දෙවැනි අර්ධය ආරම්භයේ දී ඩී. එස්. කණ්ඩායම වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට පීරිස්ට හැකි වුනා.

එතෙක් වෙලා නිහඬව සිටි වෙස්ලි කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට පීරිස්ට හැකි වූ අතර චමෝද් නිම්සර වාර්තා කළ උත්සාහක දිනුම සමඟ තරගයේ ලකුණු තත්වය ආසන්න කිරීමට ඔවුන්ට හැකි වුනා.

නමුත් සිය නායකයා ලබා දුන් පන්දුවක් සීමා ඉර පසු කර රැගෙන යමින් අවශ්‍ය ලකුණු පරතරය ලබා දීමට උමගිලියගේට හැකි වූවත්, වෙස්ලි ක්‍රීඩක Siddeek Abdullah උත්සාහක දිනුමක් වාර්තා කළා.

තරගයේ තීරණාත්මක මොහොතේ සිය තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට ඩී. එස්. සේනානායක නායක රාජරත්නට හැකි වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කරමින් තරගයේ ජය තහවුරු කිරීමට උමගිලියගේට හැකි වුනා.

NDB තරගයේ වීරයා: ජයතු රාජරත්න (ඩී. එස්. සේනානායක විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 29 (5T 2C ) – 20 (3T 1C 1P) වෙස්ලි විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – ජයතු රාජරත්න 3T, පීරිස් 1T, උමගිලියගේ 1T  & 2C.
  • වෙස්ලි විද්‍යාලය – පීරිස් 1T, Siddeek Abdullah 1T, චමෝද් නිම්සර 1T, ද සිල්වා 1C 1P.

සහිරා විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය

මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් විද්‍යා ක්‍රීඩකයින් පරාජය කරමින් ලකුණු 24–08ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සහිරා විද්‍යාල ක්‍රීඩකයින් සමත් වුනා.

සත්කාරක ක්‍රීඩා පිටියේ ලකුණු ලබා ගැනීම ආරම්භ කළ මොහොමඩ් රිෆාඩ් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තන අවස්ථාව අහමද් සාද් විසින් සාර්ථකව අවසන් කළා.

එයින් කෙටි වෙලාවක් තුළ සහිරා විද්‍යාලය වෙනුවෙන් ක්‍රියාත්මක වූ Suhaad Endra සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළා. විද්‍යා විද්‍යාලය වෙනුවෙන් පළමු ලකුණු දඬුවම් පහරක් මගින් වාර්තා කළේ ඕෂධ මහමුදියංසේලාගේ විසිනුයි.

පළමු අර්ධය අවසන් වීමට කෙටි වේලාවක් ඉතිරිව තිබිය දී සහිරා ක්‍රීඩක Hakeem Chunchi උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර අහමද් සාද් එහි ප්‍රවර්තනය සාර්ථකව අවසන් කළා.

පළමු අර්ධයේ රිද්මයෙන් දෙවැනි අර්ධය ආරම්භ කළ මොහොමඩ් සයිෆ් උත්සාහක දිනුම් සීමාව පසු කිරීමට සමත් වූවත් එහි ප්‍රවර්තනය නිවැරදිව එල්ල කිරීමට සාද්ට හැකි වුනේ නැහැ.

තරගය අවසන් වීමට පෙර විද්‍යා ක්‍රීඩකයින්ට තරමක සහනයක් ගෙන දෙමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ඕෂධ මුදියන්සේලාගේට හැකි වූවත් ,තරගයේ වෙනසක් කිරීමට එය ප්‍රමාණවත් වුනේ නැහැ,

NDB තරගයේ වීරයා: මොහොමඩ් සයිෆ් (සහිරා විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: සහිරා විද්‍යාලය 24 (4T,2C) – 08 (1T,1P) විද්‍යා විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • සහිරා විද්‍යාලය – අහමද් සාද් 2C, Suhaad Endra 1T, මොහොමඩ් සයිෆ් 1T, මොහොමඩ් රිෆාද් 1T, Hakeem Chunchi 1T.
  • විද්‍යා විද්‍යාලය – ඕෂධ මුදියන්සේලාගේ 1T,1P.

 

රාජකීය විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය

මහනුවර විද්‍යාලය අසරණ කරමින් ලකුණු 47-03ක ජයක් ලබා ගනිමින් සිය ආධිපත්‍ය නැවතත් විදහා දක්වන්නට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුනා.

රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මෙම තරගයේ ආරම්භක උත්සාහක දිනුම වාර්තා කිරීමට රාජකීය ක්‍රීඩක තිනෙත් ගමගේට හැකි වූ අතර තිවෙන් පෙරේරා ප්‍රවර්තන අවස්ථාව සාර්ථකව අවසන් කළා.

පළමු අර්ධයේ අවසන් මිනිත්තු 15 තුළ රාජකීය ක්‍රීඩකයින් උත්සාහක දිනුම් තුනක් වාර්තා කිරීමට සමත් වූ අතර එයින් දෙකක් චරණ පෙරේරා වාර්තා කරද්දී, තරූෂ සමරකෝන් එක් උත්සාහක දිනුමක් වාර්තා කළා.

දෙවැනි අර්ධය ආරම්භයේ දී රාජකීය ක්‍රීඩක චාරුක සෙනවිරත්න සිය කණ්ඩායමේ පස්වැනි උත්සාහක දිනුම වාර්තා කළ අතර සිමාක් ෂෆීක් එහි ප්‍රවර්තනය ද සාර්ථකව අවසන් කළා.

දිසාස් පතිරණ රාජකීය කණ්ඩායම වෙනුවෙන් හයවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර හත්වැනි සහ අවසන් උත්සාහක දිනුම වාර්තා කළේ අජ්මාල් මරික්කාර් විසිනුයි.

NDB තරගයේ වීරයා – දුල්ජය ගමනායක (රාජකීය විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය : රාජකීය විද්‍යාලය 47 (7T, 6C) – 3 (1DG) විද්‍යාර්ථ විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • රාජකීය විද්‍යාලය – චරණ පෙරේරා 2T, තිනෙත් ගමගේ 1T, තරූෂ සමරකෝන් 1T, චාරුක සෙනවිරත්න 1T, දිසාස් පතිරණ 1T, සිමාක් ෂෆීක් 1T & 3C, නබිල් යාහියා 2C, තිවයින් පෙරේරා 1C.
  • විද්‍යාර්ථ විද්‍යාලය – උදීෂ රත්නායක 1DG.

සාන්ත තෝමස් විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය

මෙම තරගයෙන් ලකුණු 28-17ක ජයක් ලබා ගත්තේ ගල්කිස්ස සාන්ත තෝමස් ක්‍රීඩකයින් විසිනුයි.

සාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළ මහිත් පෙරේරා පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය යෙහාන් බුලත්සිංහලගේ විසින් අවසන් කළා.

ආරම්භයේ දී ම තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට දිනා දෙමින් දෙවැනි උත්සාහක දිනුම වියාන් ද සිල්වා විසින් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද බුලත්සිංහලගේ ඉතා සාර්ථකව අවසන් කළා.

පළමු අර්ධයේ මුල් භාගයේ තරමක් පසුබෑමට ලක් වූවත්, දඬුවම් පහරකින් සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළ කිංග්ස්වුඩ් කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම ටී. ඉශාර විසින් වාර්තා කරද්දී ප්‍රවර්තනය ඉමංක ඉශාර සාර්ථක කළේ තරගයේ ලකුණු තරමක් ආසන්නයට ගෙන එමිනුයි.

නමුත් දෙවැනි අර්ධය ආරම්භයේ දී නැවතත් ක්‍රියාත්මක වූ මහිත් පෙරේරා සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද බුලත්සිංහලගේ සාර්ථකව අවසන් කළා.

එයට පිළිතුරු ලෙස R. S. Bawdween උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද සමඟ ලකුණු පුවරුව දිස් වුනේ 21-17ක් ලෙසයි.

61 වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ එස්. පෙරේරා සිය කණ්ඩායමේ ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කරද්දී,  එහි ප්‍රවර්තනය ද බුලත්සිංහලගේ සාර්ථකව අවසන් කළේ සිය කැපී පෙනෙන දස්කම් තවත් රඳවා ගෙනයි.

NDB තරගයේ වීරයා – මහිත් පෙරේරා (සාන්ත තෝමස් විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය : සාන්ත තෝමස් විද්‍යාලය 28 (4T, 4C) – 17 (2T, 2C, 1P) කිංග්ස්වුඩ් විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • සාන්ත තෝමස් විද්‍යාලය – මහිත් පෙරේරා 2T, වියාන් ද සිල්වා 2T, එස්. පෙරේරා 1T, යෙහාන් බුලත්සිංහලගේ 4C.
  • කිංග්ස්වුඩ් විද්‍යාලය – ටී. ඉශාර 1T, S. Bawdween 1T, ඉමංක ඉසාර 2C & 1P.

තරගාවලියේ තෙවැනි සතියේ තරග සියල්ල අවසානයේ ප්‍රසාද ලකුණු සටහන දැක්වෙන්නේ මේ ආකාරයටයි.

Dialog පාසල් රග්බි ලීගයේ සිව්වැනි සතියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<