ඉසිපතන සහ සාන්ත පීතර ක්‍රීඩකයින් අපරාජිතව ඉදිරියට

Dialog පාසල් රග්බි ලීගය 2023

276

Dialog පාසල් රග්බි ලීගයේ සිව්වැනි සතියේ තරග පසුගිය දා අවසන් වුනා. එම සතියේ පැවති තරගවලින් ජයග්‍රහණය ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට ඉසිපතන, සාන්ත පීතර, රාජකීය, සාන්ත අන්තෝනි, සාන්ත ජෝසප් සහ විද්‍යාර්ථ කණ්ඩායම්වලට හැකි වුනා.

ඉසිපතන විද්‍යාල සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය 

හැව්ලොක් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් ලකුණු 22–06ක් ලෙස පරාජය කරමින් සිය කාණ්ඩයේ පෙරමුණ රැක ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින් සමත් වුනා.

සත්කාරක ක්‍රීඩාංගණයේ දී ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කරමින් පළමු උත්සාහක දිනුම වාර්තා කළේ ඉසිපතන ක්‍රීඩක ශෙහාදු ද කොස්තායි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රිනේෂ් සිල්වාට හැකි වුනේ නැහැ.

එයට පිළිතුරු ලෙස හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව එල්ල කරමින් ලකුණු පරතරය අඩු කර ගැනීමට DS ක්‍රීඩකයින්ට හැකි වුනා. දඬුවම් පහර එල්ල කළේ ශෙහන්ද උමගිලියගේයි.

ඉසිපතනය වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම Shahid Zumri වාර්තා කරද්දී, උමගිලියගේ වාර්තා කළ දෙවැනි දඬුවම් පහර නිසා පළමු අර්ධය අවසන් වුනේ ලකුණු 10-06ක් ලෙසයි.

දෙවැනි අර්ධය තුළ ප්‍රතිවාදීන් අසරණ කළ ඉසිපතන කණ්ඩායම වෙනුවෙන් තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට කළිඳු ශෙනාල්ට හැකි වූ අතර සිව්වැනි උත්සාහක දිනුම කවීන් තිනෙත්‍ර වාර්තා කළා.

එම අර්ධය තුළ කිසිදු ලකුණක් වාර්තා කිරීමට DS ක්‍රීඩකයින්ට නොහැකි වූ නිසා තරගය අමතරව ප්‍රසාද ලකුණක් සමඟ ජය ගැනීමට ප්‍රබල ඉසිපතනයට හැකි වුනා.

NDB තරගයේ වීරයා – රිනේෂ් සිල්වා (ඉසිපතන විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: ඉසිපතන විද්‍යාලය 22 (4T 1C) – 06 (2P) ඩී. එස්. සේනානායක විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • ඉසිපතන විද්‍යාලය – ශෙහාදු ද කොස්තා 1T, Shahid Zumri 1T, කළිඳු ශෙනාල් 1T, කවීන් තිනෙත්‍ර 1T, රිනේෂ් සිල්වා 1
  • ඩී. එස්. සේනානායක විද්‍යාලය – ශෙහන්ද උමගිලියගේ 2

සාන්ත පීතර විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය  

මෙවර තරගාවලියේ අඛණ්ඩව ලැබූ තෙවැනි ජය ලබා ගනිමින් අපරාජිතව සිව්වැනි සතිය අවසන් කිරීමට බම්බලපිටිය සාන්ත පීතර ක්‍රීඩකයින්ට හැකි වුනා. ඒ මහනුවර ත්‍රිත්ව ක්‍රීඩකයින් 22–10ක් ලෙස පරාජය කරමිනුයි.

කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දෙමින් ත්‍රිත්ව ක්‍රීඩක තෙනුක් ප්‍රනාන්දු පළමු උත්සාහක දිනුම වාර්තා කරද්දී, Shan Althaf එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථකව අවසන් කළා.

එයට පිළිතුරු ලෙස ලබා ගත් පන්දුව සීමා ඉර පසු කර රැගෙන යමින් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සාන්ත පීතර ක්‍රීඩක රනිඳු රිද්මල්ට හැකි වූ අතර එහි ප්‍රවර්තනය යුමෙත් ශිහාර සාර්ථකව එල්ල කළා.

එම අර්ධය තුළ ක්‍රියාත්මක වෙමින් සිය කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සාන්ත පීතර ක්‍රීඩක සුදේශ් ජයවික්‍රමට හැකි වූ නිසා පළමු අර්ධය පෙරමුණේ සිටිමින් අවසන් කිරීමට ඔවුන්ට හැකි වුනා.

දෙවැනි අර්ධය ආරම්භයේ දී ලැබූ දඬුවම් පහරක් ත්‍රිත්ව ක්‍රීඩක Shan Althaf සාර්ථකව යොමු කිරීමට සමත් වූ අතර එයින් කෙටි වෙලාවක් තුල දඬුවම් පහරක් එල්ල කරමින් පෙරමුණ රැක ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගයේ අවසන් වීමට කෙටි වේලාවක් ඉතිරිව තිබිය දී කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී උත්සාහක දිනුම රැස් කිරීමට නායක අශේන් මදුගස්පේට හැකි වූ අතර එහි ප්‍රවර්තනය එමිත් ජයවීර සාර්ථකව අවසන් කළා.

NDB තරගයේ වීරයා – සුදේෂ් ජයවික්‍රම (සාන්ත පීතර විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: සාන්ත පීතර විද්‍යාලය 22 (3T, 2C,1P) – 10 (1T,1C,1P) ත්‍රිත්ව විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • සාන්ත පීතර විද්‍යාලය – රනිඳු රිද්මල් 1T, සුදේශ් ජයවික්‍රම 1T, අශේන් මදුශස්පේ 1T, යුමෙත් ශිහාර 1C, එමිත් ජයවීර 1C,1
  • ත්‍රිත්ව විද්‍යාලය – තෙනුක් ප්‍රනාන්දු 1T, Shan Althaf 1C,1

රාජකීය විද්‍යාලය සහ සහිරා විද්‍යාලය

දැඩි ප්‍රහාරයක් ලබා දුන් දෙවැනි අර්ධය නිසා සහිරා ක්‍රීඩකයින් පරදවා ලකුණු 44–03ක ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාල කණ්ඩායමට හැකි වුනා.

රාජකීය විද්‍යාලය ක්‍රීඩා සංකීර්ණයේ පැවති මෙම තරගයේ පළමු ලකුණු වාර්තා කළේ රාජකීය ක්‍රීඩක Simak Shafeek විසිනුයි. දඬුවම් පහර අවස්ථාවක් සාර්ථකව අවසන් කරමින් ඔහු ලකුණු රැස් කළා.

එම අර්ධය අවසන් වීමට පෙර ලැබූ දඬුවම් පහරක් සහිරා ක්‍රීඩක අහමද් සාද් සාර්ථකව යොමු කිරීම නිසා පළමු අර්ධය සමව අවසන් වුනේ ලකුණු 3-3ක් ලෙසයි.

දෙවැනි අර්ධයේ ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ රාජකීය විද්‍යාලය වෙනුවෙන් Simak Shafeek දෙවැනි දඬුවම් පහර සාර්ථකව අවසන් කරද්දී, දිසාස් පතිරණ තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළා.

රාජකීය ක්‍රීඩක කවිනාශ් ශ්‍රීකාන්ත් කණ්ඩායම වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර Thanvir Hassen වාර්තා කළ සිව්වැනි උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද Simak සාර්ථකව අවසන් කළා.

සහිරා ක්‍රීඩකයින්ගේ ජයග්‍රාහී බලාපොරොත්තු සුන් කරමින් චාරුක සෙනවිරත්න උත්සාහක දිනුමක් වාර්තා කරද්දී, එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථකව අවසන් කළේ Nabeel Yahiya විසිනුයි.

තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී රාජකීය ක්‍රීඩක අක්‍රම් ෆාරුක් සහ දිසාස් පතිරණ තවත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් සිය කණ්ඩායම පහසු ජයකට රැගෙන ගියා.

NDB තරගයේ වීරයා: තිනෙත් ගමගේ (රාජකීය විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: සහිරා විද්‍යාලය 03 (1P) –  44 (6T, 4C,2P) රාජකීය විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • සහිරා විද්‍යාලය – අහමද් සාද් 1P
  • ‍රාජකීය විද්‍යාලය – දසිස් පතිරණ 2T, චාරුක සෙනවිරත්න 1T, කවිනාශ් ශ්‍රීකාන්ත් 1T, අක්‍රම් ෆාරුක් 1T, Thanvir Hassen 1T, Simak Shafeek 1C & 2P, Nabeel Yahiya 1C.

 

සාන්ත ජෝසප් විද්‍යාලය සහ කිංග්ස්වුඩ් විද්‍යාලය

මහනුවර කිංග්ස්වුඩ් කණ්ඩායම සමඟ පැවති මෙම තරගයෙන් ලකුණු 48-15ක ජයක් හිමි වුනේ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයටයි.

සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට තරමක් තීරණාත්මක වූ මෙම තරගයට හොඳ ආරම්භයක් ලබා දුන් නායක නවීන් මාරසිංහ පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුනා. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි.

එම උත්සාහක දිනුම වාර්තා කර කෙටි වෙලාවකට පසුව ක්‍රියාත්මක වූ නවීන් ජෙහාන් අතුකෝරළ උත්සාහක දිනුම ද වාර්තා කළේ සිය කණ්ඩායම පළමු අර්ධය තුල ඉහළට ගෙන එමිනුයි.

සාන්ත ජෝසප් ක්‍රීඩක රංදික දහම්ජය තෙවැනි උත්සාහක දිනුම වාර්තා කරද්දී, එහි ප්‍රවර්තනය සාර්ථකව අවසන් කරමින් සිය කණ්ඩායමට අමතර ලකුණු දෙකක් එක් කිරීමට රුචිත රොද්‍රිගෝට හැකි වුනා.

පළමු අර්ධය අවසන් වීමට කෙටි වෙලාවක් තිබිය දී උත්සාහක දිනුමක් සහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගනිමින් ලකුණු පරතරය 14ක් දක්වා අඩු කිරීමට කිංග්ස්වුඩ් ක්‍රීඩක ඉමංක ඉෂාරට හැකි වුනා.

සාර්ථක පළමු අර්ධයකින් පසු දෙවැනි අර්ධය ආරම්භයේ දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩක චමෝද් සෙනවිරත්නට හැකි වූවත්, එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට රුචිත අසමත් වුනා.

සාන්ත ජෝසප් ක්‍රීඩක රන්දික දහම්ජය තරගයේ හයවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර තරගය පුරාවට ලබා ගත් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සාන්ත ජෝසප් නායක නවීන් මාරසිංහට හැකි වුනා.

තරගයට පුරාවට කිංග්ස්වුඩ් ක්‍රීඩකයින්ට දැඩි හිසරදයක් වූ නවීන් නැවත ලබා ගත් පන්දුවක් මීටර් 30ක පමණ දුරක් රැගෙන යමින් සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කළා. එහි ප්‍රවර්තනය රුචිත රොද්‍රිගෝ සාර්ථකව අවසන් කළා.

තරගය අවසන් වීමට පෙර කිංග්ස්වුඩ් කණ්ඩායම වෙනුවෙන් දමිඳු ද සිල්වා උත්සාහක දිනුමක් වාර්තා කළත් තරගය දැවැන්ත පරතරයකින් ජයග්‍රහණය කරමින් සිය කණ්ඩායමට අවශ්‍ය වූ ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකි වුනා.

NDB තරගයේ වීරයා – නවීන් මාරසිංහ (සාන්ත ජෝසප් විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය : සාන්ත ජෝසප් විද්‍යාලය 48 (8T, 4C) – 15 (2T, 1C, 1P) කිංග්ස්වුඩ් විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • සාන්ත ජෝසප් විද්‍යාලය – නවීන් මාරසිංහ 3T, රංදික දහම්ජය 2T, චමෝද් සෙනවිරත්න 1T, ජෙහාන් අතුකෝරළ 1T, ශානුක අලහකෝන් 1T, රුචිත රොද්‍රගෝ 1T.
  • කිංග්ස්වුඩ් විද්‍යාලය – ඉමන්ක ඉෂාර 1T, 1C &1P, දමිඳු ද සිල්වා

සාන්ත අන්තෝනි විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය

අවසන් මිනිත්තුව දක්වා ඇදී ගිය තියුණු සටනකින් පසු වෙස්ලි ක්‍රීඩකයින් ලකුණු 30-29ක් ලෙස පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට හැකි වුනා.

රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ පැවති මෙම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ වෙස්ලි ක්‍රීඩක Abdullah Siddeek විසිනුයි. Abdul Haadhi එහි ප්‍රවර්තනය සාර්ථකව අවසන් කළා.

සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට ලකුණු ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක් මඟ හැරී ගිය නමුත් පසුව හිමි වූ දඬුවම් පහරක් සාර්ථකව එල්ල කරමින් ලකුණු ලබා ගැනීමට ආරම්භ කිරීමට අන්තෝනි නායක සහන් කීර්තිසිරිට හැකි වුනා.

එයට පිළිතුරු ලෙස සිය කණ්ඩායමට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට වෙස්ලි ක්‍රීඩක Abdul Haadhiට හැකි වුනා.

පළමු අර්ධය අවසන් වීමට පෙර ක්‍රියාත්මක වූ සාන්ත අන්තෝනි ක්‍රීඩක ටිරෝන් මාරියදාස් සිය කණ්ඩායම වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සහන් සාර්ථකව අවසන් කිරීම නිසා පළමු අර්ධයේ පෙරමුණ හිමි වුනේ සාන්ත අන්තෝනි විද්‍යාලයටයි.

දෙවැනි අර්ධය ආරම්භයේ දී තරගයේ පාලනය සියතට ගත් වෙස්ලි කණ්ඩායම වෙනුවෙන් ඉක්මන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට Kaizer Lye සහ චමෝද් නිම්සරට හැකි වුනා.

නමුත් එයට පිළිතුරු ලෙස සාන්ත අන්තෝනි ක්‍රීඩක සහන් කොතලාවල උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වෙද්දී, එහි ප්‍රවර්තනය ද සාර්ථකව අවසන් කළේ නායක සහන් විසිනුයි.

සිය කණ්ඩායමට පෙරමුණ ගැනීමට හිමි වූ දඬුවම් පහරක් මීටර් 48ක පමණ දුරක සිට සාර්ථකව එල්ල කරමින්  එක් ලකුණකින් කණ්ඩායම පෙරමුණට ගෙන ඒමට සහන් කීර්තිසිරිට හැකි වුනා.

සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට අවශ්‍යව තිබූ උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වුනේ ‍රවිඳු වෙලගෙදරයි. එහි ප්‍රවර්තනය ද සහන් කීර්තිසිරි විසින් සාර්ථකව අවසන් කළා.

තරගයේ උණුසුම තවත් වැඩි කරමින් වෙස්ලි ක්‍රීඩක Abdullah Siddeek දිනයේ දෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීම නිසා සාන්ත අන්තෝනි ලකුණු ගණනට සමීප වීමට වෙස්ලි ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගය අවසන් වීමට මද වෙලාවක් තිබිය දී ජයග්‍රාහී ලකුණු රැස් කිරීමට වෙස්ලි ක්‍රීඩකයින්ට විශාල අවස්ථාවක් හිමි වූවත් Abdul Haadhi එල්ල කළ දඬුවම් පහර ගෝල රාමුවේ වැදීම නිසා තරගය එක් ලකුණකින් ජයග්‍රහණය කිරීමට සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට හැකි වුනා.

NDB තරගයේ වීරයා – රවිඳු වෙලගෙදර (සාන්ත අන්තෝනි විද්‍යාලය)

අවසන් ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 30 (3T, 3C, 3P) – 29 (4T, 3C, 1P) වෙස්ලි විද්‍යාලය

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්,

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – ටිරෝන් මාරියදාස් 1T, සහන් කොතලාවල 1T, රවිඳු වෙලගෙදර 1T, සහන් කීර්තිසිරි 3C & 3
  • කිංග්ස්වුඩ් විද්‍යාලය – Abdullah Siddeek 2T, Kaizer Lye 1T, චමෝද් නිම්සරට 1T, Abdul Haadhi 3C, 1

තරගාවලියේ සිව්වැනි සතියේ තරග සියල්ල අවසානයේ ප්‍රසාද ලකුණු සටහන දැක්වුණේ මේ ආකාරයටයි.

Dialog පාසල් රග්බි ලීගයේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<