ගුවන් හමුදාව සහ HNB දැල්පන්දු ශූරතාවයේ අවසන් තරගයට

Dialog 2023 ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලිය

231
Dialog National Netball Championship 2023

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC හි අනුග්‍රාහකත්වයෙන්, ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන Dialog 2023 ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු ශූරතා තරගාවලිය ඊයේ (11) ආරම්භ වුනා.

පෙ.ව.9.30 සිට ආරම්භ වූ තරගාවලිය තෙදිනක් පුරා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. තරගාවලියේ ඊයේ සහ අද දිනයේ තරග ටොරිංටන් ක්‍රීඩාංගණයේ දී පැවති අතර අවසන් තරග හෙට (13) ටොරිංටන් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඊයේ පැවති මූලික වටයේ තරග ලීග් ක්‍රමය යටතේ පැවැත්වූ අතර එහි දී කණ්ඩායම් සියල්ල කාණ්ඩ 04ක් යටතේ තරග වැදුණා.

තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වීමෙන් අනතුරුව කණ්ඩායම් 33ක් අතරින් කණ්ඩායම් 8ක් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා තිබුණා.

එහි දී කුරුණෑගල HFC, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව, කළුතර බාලිකා විදුහල, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, මියුසියස් විදුහල, හැටන් නැෂනල් බැංකුව (HNB) සහ කොතලාවල ආරක්ෂක විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

අර්ධ අවසන් පූර්ව වටයේ අද පස්වරුවේ පැවති තරගවල දී,

කුරුණෑගල HFC සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගයේ දී ලකුණු 18-33ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට නාවික හමුදාව සමත් වුනා.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ කළුතර බාලිකා විදුහල අතර තරගයේ දී නිතරඟ ජයක් යුධ හමුදාවට හිමි වුනා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ මියුසියස් විදුහල අතර තරගය නිමා වුනේ ලකුණු 31-16ක් ලෙස ගුවන් හමුදාවට ජය හිමිකර දෙමින්.

අවසන් පූර්ව වටයේ අවසන් තරගය වූ HNB සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර තරගය ජයග්‍රහණය කිරීමට HNB සමත් වුනේ ලකුණු 38-07ක් ලෙසින්.

ඒ අනුව අර්ධ අවසන් පූර්ව වටයේ තරගවල දී ජයග්‍රහණ හිමිකර ගන්නට HNB, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා යුද හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වුනා.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ HNB සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතරයි. එහි දී තියුණු තරගයකින් අනතුරුව ලකුණු 39-27ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට HNB සමත් වුනා.

දෙවැනි අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තරග වැදුණු අතර එහි දී ලකුණු 30-24ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ HNB බැංකුව අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

ජාතික දැල්පන්දු ශූරතාවයේ අවසන් මහා තරගය හා තෙවැනි ස්ථානය සඳහා තරගය හෙට (13) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය පැවැත්වෙන්නේ ටොරිංටන් ක්‍රීඩාංගණයේ දීයි.

ඒ අනුව තෙවැනි ස්ථානය සඳහා තරගය පෙ.ව. 8.30ට සහ අවසන් මහා තරගය පෙ.ව.10.00 ද පැවැත්වීමට නියමිත වනවා.

ඒ අනුව තෙවැනි ස්ථානය සඳහා වන තරගය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව අතර පැවැත්වෙන අතර අවසන් මහා තරගය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ HNB අතර පැවැත්වෙනවා.

තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<