ටෙනිස් ක්‍රීඩාවේ මීළඟ තරුව?

354
sportingnews

පසුගිය දා අවසන් වූ විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ දී ස්පාඤ්ඤ ජාතික කාලෝස් අල්කරේස් විසින් සර්බියාවේ නොවැක් ජොකොවිච්ව පරාජය කරමින් 1-6, 7-6 (6), 6-1, 3-6, 6-4ක් වශයෙන් වට 5කින් ජය ලැබුවා. එය 20 හැවිරිදි ඔහුගේ දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයයි. 

අල්කරේස්-ජොකොවිච් එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කළ තරගය උග්‍ර ටෙනිස් ප්‍රේක්ෂකයන් ප්‍රිය කළ තරගයක් බවට පත්වුනා. 

අල්කරේස්ගේ ටෙනිස් විරුවා වන ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාල් විම්බල්ඩන් ශූරතා දෙකක හිමිකරුවෙක්. ඔහු පවසන්නේ, ඔහු විසින් රොජර් ෆෙඩරර්ව පරාජය කළ අවස්ථාව සහ අල්කරේස් විසින් ජොකොවිච්ව පරාජය කිරීම සමාන අවස්ථා දෙකක් බවයි. 

අද ඔබ අපට දැඩි සතුටක් ලබා දුන්නා. මට විශ්වාසයි, ස්පාඤ්ඤයේ අපේ ටෙනිස් පෙරගමන්කරු වූ මනොලෝ සන්ටානා ඔහු ඉන්න තැනක ඉඳන් ප්‍රීති ඝෝෂා කරන්නට ඇති,” යැයි ඔහු සඳහන් කොට තිබුණා. 

අවසන් මහා තරගයේ දී පරාජය වූ හිටපු විම්බල්ඩන් ශූර නොවැක් ජොකොවිච් පැවසුවේ, 

කාලෝස් සහ ඔහුගේ කණ්ඩායමට ප්‍රශංසා කරමින් මම පටන් ගන්න ඕන. පන්දුව  හරියටම පිරිනමන්නට අත්‍යාවශ්‍යව තිබුණු වෙලාවේ ඔබ ක්‍රීඩා කළ විදිය කොච්චර ගුණාත්මක ද. ලොකුම අවස්ථාවල දී හොඳින් ක්‍රීඩා කරමින් ඔබ ඉදිරියට  ආවා. ඔබ මේ ජයග්‍රහණයට  සුදුසුයි. විශ්මයජනකයි,” යනුවෙන්.  

එය කාලෝස් අල්කාරෙස්ගේ ගුණාත්මකභාවය මෙන්ම ජොකොවිච්ගේ ගුණාත්මකභාවය ද පැහැදිලි කෙරෙන ප්‍රකාශයක්. 

ස්පාඤ්ඤ අගමැතිවරයා ද ඔහුගේ ජයග්‍රහණය ගැන අදහස් පළකොට තිබුණා. 

දැවැන්තයි කාලෝස් අල්කරේස්! අවසන් මහා තරගයක දී විම්බල්ඩන් ශූරයා හැටියට මෙය ඉතිහාසයට එකතු වේවි. සුබ පැතුම්!,” ස්පාඤ්ඤ අගමැති පෙඩ්රෝ සැන්චේස් එසේ පවසනු ලැබුවා. 

කාන්තා ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය හෙබවූ බෙලරුසියානු ක්‍රීඩිකා වික්ටෝරියා අසරෙන්කා පැවසුවේ, 

ඕනෑවටත් වඩා හොඳයි කාලෝස්, ඕනෑවටත් වඩා හොඳයි! නියම තරගයක්!,” යනුවෙන්. 

මේ සියල්ල තුළ කියැවෙන කරුණ නම්, අල්කරේස් සහ ජොකොවිච් අතර පැවති විම්බල්ඩන් අවසන් මහා තරගය උත්කර්ෂවත් සහ උද්වේගකර තරගයක් වූ බවයි. නොවැක් ජොකොවිච් වැනි ශූරයෙකුව පරාජය කිරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. 

කෙළින් කතාවට ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ජාතික ටෙනිස් ක්‍රීඩක නික් කිර්ගියොස් ද අල්කරේස්ගේ ජයග්‍රහණය ගැන අදහස් පළකොට තිබුණා. 

කාලෙකින් ටෙනිස් තරගයක් සම්පූර්ණයෙන් බැලුවේ නෑ, හහා! ස්තුතියි නොවැක්, ස්තුතියි කාලෝස් අදහගන්න බැරි ප්‍රදර්ශනයක් කළාට. දෙන්නටම සුබ පැතුම්!” 

මේ ටෙනිස් පිටියේ මීළඟ තරුව ද? අපි බලා සිටිමු. 

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<