නවසීලන්තයේ උපත ලැබු Stokesට එංගලන්ත නායකත්වයක්

697

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ 80 වැනි නායකයා ලෙස කටයුතු කළ Joe Root ධූරයෙන් ඉල්ලා අස්වූ පසුව හිස් වූ නායකත්වය සඳහා තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokes පත් කර තිබෙනවා.

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ වැඩ බලන සභාපති හා ප්‍රධාන විධායක නිළධාරි Rob Key විසින් ඔහුගේ පත් කිරීම අනුමත කර තිබෙන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා. Stokes එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ 81 වැනි නායකයා ලෙසයි ඉතිහාසගත වන්නේ.

නවසීලන්තයේ Canterbury හිදී උපත ලැබූ Stokes 2013 වසරේ දී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්තා. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිවයි. එදා සිට මේ දක්වා එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 79කට ක්‍රීඩා කර තිබෙන 30 හැවිරිදි Stokes ටෙස්ට් ශතක 11ක් සහ අර්ධ ශතක 26ක් සමඟ ලකුණු 5061ක් සහ ටෙස්ට් කඩුලු 171ක් දවාගෙන සිය කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වීමට සමත් වී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලියෙන් ලැබූ පරාජයත් සමඟ Root නායකත්වයෙන් ඉල්ලා අස් වුනා. ඊට පෙර ඕස්ට්‍රේලියාවේ පැවති අළුබඳුන ටෙස්ට් තරගාවලිය ද එංගලන්තය Rootගේ නායකත්වය යටතේ දරුණු පරාජයකට ලක් වුනා.

එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ බිහි වූ සාර්ථකම නායකයෙකු වන Root සිය කණ්ඩායම ජයග්‍රහණය 27කට මෙහෙයවමින් වැඩිම ටෙස්ට් ජයග්‍රහණය ලැබූ එංගලන්ත නායකයා බවට පත්වීමට ද සමත් වුනා.

2017 වසරේ දී එංගලන්ත ටෙස්ට් නායකත්වයට පත්වූ ඔහු ඉන්දියාවට එරෙහිව 4-1 ජයක් සහ දකුණු අප්‍රිකාවට එරෙහිව දකුණු අප්‍රිකාවේ දී 3-1ක ජයක් ලබා ගන්නට සමත් වුනා.

එමෙන්ම ආසියානු කලාපයේ ද සිය ආධිපත්‍ය පැතිර වූ ඔහු 2018 වසරේ දී ශ්‍රී ලංකාවේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගනිමින් 2001 වසරින් පසුව එම දස්කම පෑ පළමු එංගලන්ත නායකයා බවට ද පත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<