අවුරුදු හතරකුත් ගිහින් ඒත් Du plessis තාම තරහයි

South Africa vs Australia 2018

25058

මීට වසර හතරකට පෙර ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර තරග හතරකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණ අතර, ඉතාම තරගකාරී ලෙසින් ඇදී ගිය තරගාවලියක් වුනත්, එය ඉතිහාසයට එක් වන්නේ තරමක් වෙනස් ආන්දෝලනාත්මක අන්දමේ සිදුවීම් කිහිපයක් නිසාවෙනුයි.

එයට හේතුව වන්නේ එම තරගාවලියේ තෙවැනි තරගයේ දී වැලි කඩදාසියක් භාවිතයෙන් පන්දුව පළුදු කිරීමේ (sandpaper gate) සිදු වීම සහ එයට සම්බන්ධ බවට තහවුරු වූ Steve Smith, David Warner සහ Cameron Bancroft යන අයට සියලු ආකාරයේ ක්‍රිකට් තරගවලින් වසරක තහනමක් සහ එවකට කණ්ඩායමේ උපනායකත්වය දැරූ David Warner හට ජීවිතාන්තය දක්වා නායකත්වය දැරීමේ තහනමක් පැනවීමයි.

එමෙන්ම මෙම පන්දුව පළුදු කිරීමේ සිදුවීමට ප්‍රථම David Warner සහ දකුණු අප්‍රිකාවේ Quinton de Kock අතර ඇති වූ වාචික ගැටුම ද මෙම තරගාවලිය තුල වඩාත් කැපී පෙනුණු සිදු වීමක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.

එම සිදුවීමෙන් පසු අද වන විට බොහෝ දේ වෙනස් වීමට ලක් වී ඇතත් එවකට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකයා වී සිටි Faf du Plessis විසින් මෑතක දී සම්පාදනය කරන ලද Faf: Through Fire නම් කෘතිය සමඟ නැවතත් එම සිදුවීම පිළිබඳ කතාබහ අලුත් වෙමින් පවතී.

Du Plessis විසින් මෙම සිදුවීමේ දී පන්දුව පළුදු කළ Bancroft හට හෝ එවකට නායකයාව සිටි Smith හට බැන වදින්නේ හෝ කිසිදු ආකාරයක වචන භාවිතයක් ඔවුන් වෙනුවෙන් සිදු නොකළත්, David Warner හට නම් ඔහුගේ අනුකම්පාව අහිමි වී ඇත.

Faf විසින් warnerව දඩබ්බර, කරදරකාරී (bully) පුද්ගලයකු ලෙස හඳුන්වා දී ඇත. ඔහු BBC වෙත ලබා දුන් සාකච්ඡාවක දී “ඔහු කරදර කාරයෙක් (bully), මට ඒ වගේ කෙනෙක් වෙනුවෙන් වෙන් කරන්න කාලය නැහැ,” යනුවෙන් පවසා තිබෙනවා.

ඔහු BBC සමඟ මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ සිදු කර ඇත්තේ සිය කෘතිය පිළිබඳ සිදු කළ කතාබහ අතරේ දී බවයි වාර්තා වන්නේ.

එම තරගාවලියේ තුන්වැනි තරගයේ දී සිදු වූ පන්දුව පළුදු කිරීමේ සිදුවීමටත් වඩා ඩර්බන් හිදී පැවති පළමු තරගයේ දී Warnerගේ හැසිරීම නිසා Faf විසින් Warner පිළිබඳ මෙම අදහස් දරන බව යමකුට හැඟෙනු ඇත.

ඩර්බන් හී පැවති ප්‍රථම ටෙස්ට් තරගය අතරතුර Warner විසින් නොකඩවා පැයකට ආසන්න කාලයක් තිස්සේ පිතිකරණයේ නියැලෙමින් සිටි Quinton de Kock හට sledged කර ඇති අතර, පසුව  විවේක කාලය අතරතුර ද ඔවුන් දෙදෙනා අතර යම් මතවාදී ගැටුමක් ඇති වූ බව ද එවකට අනාවරණය විය.

ක්‍රීඩකයින් ක්‍රීඩාගාරය වෙත යමින් සිටිය දී Warner විසින් කෑ ගසමින් de Cock වෙත ඇදී ආ ආකාරයත්, කණ්ඩායම් සගයන් විසින් ඔහුව පාලනය කිරීමට උත්සාහ ගන්නා ආකාරයත් CCTV කැමරා දර්ශන වල පටි ගත වී තිබුණා. එහි දී  du Plessis තුවායක් පමණක් හැඳ සිටිමින් ම ක්‍රීඩාගාරයෙන් පිටතට පැමිණ ගැටලුව නිරීක්ෂණය කරන අයුරු පවා එම දර්ශන වල සටහන් වී තිබෙනවා.

>> The Warner vs De Kock incident.

එම සිදුවීමට හේතුව හරි හැටි කිසිවකුත් නොදන්නා නමුත්  මාධ්‍ය මගින් පවසන පරිදි ක්‍රීඩකයින් දෙදෙනා ම ඔවුනොවුන්ගෙ පවුල්වල සාමාජිකයින්ට අපහාස කර ගෙන තිබෙනවා.

එම සිදුවීම සිදු වූ තරගය ඕස්ට්‍රේලියාව විසින් ලකුණු 118කින් ජයග්‍රහණය කිරීමට සමත් වුව ද ඉතිරි තරග තුනම ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකාව තරගාවලිය 3-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

“මගේ කතාව අසාර්ථක වීම ගැනයි. මට ක්‍රිකට් පොතක් ලියන්න අවශ්‍ය වුනේ නැහැ, එහෙම අවශ්‍ය වුනා නම් මම පොතක් ලියන්නේ නැහැ.

මට අවශ්‍ය වුනේ නායකත්වය, සබඳතා සහ අසීරු අවස්ථා පිළිබඳ පොතක් ලියන්නයි. මට අවශ්‍ය වුනේ මිනිස්සුන්‍ට සමීප දෙයක් නිර්මාණය කරන්නයි.

ඔවුන් මාව දක්ෂ ක්‍රීඩකයකු, ක්‍රිකට් නායකයකු ලෙස දකිනවා ඇති. නමුත් මම සැකයෙන් සහ අනාරක්ෂිත හැඟීම්වලින් පිරුණු පුද්ගලයෙක්.

මට අවශ්‍ය වුනේ මිනිස්සුන්ට දැනෙන දෙයක් ලබා දෙන්නයි, එතකොට ඔවුන්ට කියන්න පුළුවන් ‘මම දන්නවා ඒක දැනෙන විදිහකියලා.

ක්‍රිකට් ලෝලියකු නොවූවත් ඔවුන් මේ සමඟ බැඳේවි කියලා මම විශ්වාස කරනවා.”

BBCය හරහා සිය කෘතිය පිළිබඳ අදහස් දක්වමින් Faf du Plessis විසින් එසේ පවසා තිබුණා.

තවත් මෙවැනි උණුසුම් ක්‍රීඩා තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

Hindustani Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<