2032 ඔලිම්පික් සත්කාරකත්වය බ්රිස්බේන් නුවරට

277
Jason O’Brien/AAP

2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් වෙත හිමිව තිබෙනවා. ඒ ටෝකියෝ හි පැවැත්වුණු ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජිකයින්ගේ ඡන්ද විමසීමකට පසුවයි.

මේ ඕස්ට්‍රේලියාව ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සත්කාරකත්වය දරන තුන්වැනි අවස්ථාවයි. මීට අදාළ ඡන්ද විමසීම අද (21) පැවැත්වුණා. මේ තීරණයත් සමඟ බ්‍රිස්බේන් නගරයේ අහස්කුස මල්වෙඩිවලින් වර්ණවත් වුණු අතර ඕස්ට්‍රේලියානු නියෝජිතයෙකු ලෙස ටෝකියෝ නුවරට ගිය Queensland ප්‍රාන්ත ආණ්ඩුවේ ප්‍රධානී Annastacia Palaszczuk ඊට අදාළ ගිවිසුම්වලට අත්සන් තබනු ලැබුවා.

මේක ඕස්ට්‍රේලියාවට ඉතා ආඩම්බර විය හැකි දවසක්” ඕස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටු සභාපති හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උප සභාපති John Coates පවසා තිබුණා.

මම ස්තුති කරනවා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයින්ට ඔවුන් අප කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන්. බ්‍රිස්බේන් 2032 වෙන් වන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පරමාදර්ශ සුරැකීම වෙනුවෙන්මයි. බ්‍රිස්බේන් ඔලිම්පික් උළෙල දැන් තිබෙන්නේ කඩිසර, කෘතගුණපූර්වක මෙන්ම ඉතා උද්යෝගිමත් දෑත්වලයි. මම ලොව පුරා සිටින ක්‍රීඩකයින්ට පොරොන්දු වෙනවා, අපි ඔබට අමතක නොවන අත්දැකීමක් හිමිකර දෙනවා.”

තවත් ක්‍රීඩා පුවත්:

මීට පෙර ද ඕස්ට්‍රේලියාව ඔලිම්පික් ක්‍රීඩා උළෙල දෙකක් සඳහා සත්කාරකත්වය ලබා දී තිබෙනවා. ඒ 1956 වසරේ දී මෙල්බර්න් හා 2000 වසර සිඩ්නි ඔලිම්පික් උළෙලවලටයි. 2032 ඔලිම්පික් උළෙලට ඩොලර් බිලියන 5ක මුදලක් වැය වන බවට ඇස්තමේන්තු ගත කර තිබෙන අතර ඒ මුදල් උපයා ගැනීමට අපේක්ෂා කරන්නේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන්, අනුග්‍රාහකයින්ගෙන් හා විකාශන ගිවිසුම් වලිනුයි.

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ දී සිදු වූ ඇතැම් සිදුවීම් නිසා අන්තර්ජාතික ඔලිම්පික් කවුන්සිලයට දැඩි දෝෂාරෝපණ එල්ල වුනා. 2020 ඔලිම්පික් උළෙල අද (21) නිල නොවන මට්ටමින් ආරම්භ වුනේ සැහැල්ලු පන්දු (softball) තරග සමඟිනුයි. නිල ආරම්භක උත්සවය එළඹෙන සිකුරාදා (23) ආරම්භ වීමට නියමිතයි.

The Guardian ඇසුරෙන්

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<