ඉන්දීය පරාජයත් සමඟින් පාකිස්තාන සිහින බොඳ වුනා ද?

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2985

ඊයේ (30) පාකිස්තාන කණ්ඩායමට තීරණාත්මක දිනයක් ලෙස සැලකිය හැකියි. මන්ද යත්, ඊයේ දිනයේ 2 කාණ්ඩයේ තරග තුනක් පැවැත්වුණු අතර, එමගින් එම කාණ්ඩයේ කණ්ඩායම් පහක අවසන් පූර්ව වටයේ බලාපොරොත්තුවලට තීරණ ලැබීමට නියමිතව තිබිණි.

ඒ අතරින් මීට පෙර ඉන්දීය සහ සිම්බාබ්වේ කණ්ඩායම් හමුවේ ලැබූ අවාසනාවන්ත පරාජයන් හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමට තමන් ලබන ජයග්‍රහණ මෙන්ම, ඉන්දීය කණ්ඩායම ලබනා ජයග්‍රහණයක අවශ්‍යතාවය ද අවැසි වී තිබිණි.

2 කාණ්ඩයේ දැන් තත්වය මෙසේයි

ඊයේ උදෑසන පැවති තරගයෙන් බංග්ලාදේශය හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම ලද පරාජයෙන් මෙන්ම, නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව තම කණ්ඩායම ලද ජයග්‍රහණය නිසාත් පාකිස්තාන ක්‍රිකට් රසිකයින් සැනසුම් සුසුම් හෙළමින් සිටි අතර, දිනයේ අවසාන වශයෙන් පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු පහකින් පරාජය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වීමත් සමඟින් නැවතත් පාකිස්තානය අවසන් පූර්ව වටයට යාමට ඇති ඉඩ සම්බන්ධයෙන් ගැටලු මතු වී ඇත.

2 කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටිමින් තවත් එක් ජයග්‍රහණයකින් පසුව අවසන් පූර්ව වටයට පිවිසීමේ වරම් දිනා ගැනීමට මාන බලමින් සිටි ඉන්දීය කණ්ඩායම ඊයේ ලද පරාජයත් සමඟින් එම කාණ්ඩයේ දෙවැනි තැන වෙත පසු බැස ඇති අතර, දැන් දකුණු අප්‍රිකානු කණ්ඩායම එම කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට යන මුල්ම කණ්ඩායම වීමේ වැඩි ඉඩක් පවතී. ඔවුන්ට පසු පසින් තුන් වන ස්ථානයේ සිටින්නේ බංගලාදේශ කණ්ඩායමයි.

ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර ඇත්තේ දල ලකුණු වේගයේ (net run rate) ඉතා සුළු වෙනසක් පමණක් වන අතර එම නිසා ලබන බදාදා (02) පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය ඉතා තීරණාත්මක මුහුණුවරක් ගනු ඇත.

මේ කණ්ඩායම් අතරේ පාකිස්තානයේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු කෙසේ වේවි ද?

නොවැම්බර් 03 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව සහ නොවැම්බර් 06 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග දෙක ඔවුන් අනිවාර්‍යෙන්ම ජයග්‍රහණය කළ යුතු වේ.

එමගින් ඔවුන්ගේ මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 06ක් දක්වා වර්ධනය කර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන අතර, ඊයේ ඉන්දීය කණ්ඩායම ලද පරාජය නිසා ඔවුන්ට එම ලකුණු හය පමණක් ප්‍රමාණවත් නොවෙනු ඇත.

ඔවුන්ගේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු දැන් තවත් සාධක කිහිපයක් මත රඳා පවතී.

ඒ අනූව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අනෙක් තරගවල ප්‍රතිඵල මෙන්ම, ඔවුන් මුහුණ දෙන තරග ද්විත්වයේ දීත් හැකි තරම් ඉහළ පරතර වලින් ජයග්‍රහණ ලබා ගැනීම මගින් ඔවුන්ගේ දල ලකුණු වේගය (net run rate) ඉහළ නංවා ගැනීමට හැකි වේ නම් එය පාකිස්තානයේ ඉදිරි ගමනට වැදගත්ම සාධකයක් වනු ඇත.

2 කාණ්ඩයේ ඉදිරි දින වලදී පැවැත්වීමට නියමිතව ඇති තරග:

  • නොවැම්බර් 02 – සිම්බාබ්වේ – නෙදර්ලන්තය ( ඇඩිලේඩ් ඕවල්)
  • නොවැම්බර් 02 – ඉන්දියාව – බංගලාදේශය ( ඇඩිලේඩ් ඕවල්)
  • නොවැම්බර් 03 – පාකිස්තානය – දකුණු අප්‍රිකාව (සිඩ්නි)
  • නොවැම්බර් 06 – දකුණු අප්‍රිකාව – නෙදර්ලන්තය (ඇඩිලේඩ් ඕවල්)
  • නොවැම්බර් 06 – පාකිස්තානය – බංගලාදේශය (ඇඩිලේඩ් ඕවල්)
  • නොවැම්බර් 06 – ඉන්දියාව – සිම්බාබ්වේ (මෙල්බර්න්)

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<